රේගුවෙන් මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

රේගුවෙන් මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව
  • SocialShare:

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව ගුවන් තොටුපළ හා වරාය ආශ්‍රිතව මෙන්ම තැපැල් හුවමාරුව ඔස්සේ මෙරටට ඇතුළුවන මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා මහතා පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක "රටම එකට" ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ අද (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ 2026 ජුනි මාසයේ පමණක් තැපැල් හුවමාරුව මඟින් මෙරටට එවූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83.02ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.  මෙම ප්‍රමාණය සාපේක්ෂව කුඩා වුවද, එම මත්ද්‍රව්‍ය සෘජුවම පාරිභෝගිකයන් වෙත ළඟා වනු  ඇතැයි විශ්වාස කරන බවත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවද හෙතෙම පැවසීය.

තැපැල් හුවමාරුව ඔස්සේ දිනපතා විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙරටට පැමිණෙන අතර, ඒවා සියල්ල පරීක්ෂා කිරීම අභියෝගාත්මක කාර්යයක් බවද ඔහු සඳහන් කළේය. එබැවින් ස්කෑනර් තාක්ෂණය භාවිතයෙන් පරීක්ෂා කර සැකසහිත පාර්සල් වැඩිදුර විමර්ශනයට යොමු කරන බවද පැවසීය.

විශේෂයෙන්ම "කුෂ්" වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, එවැනි මත්ද්‍රව්‍ය බොහෝවිට තායිලන්තයේ සිට මෙරටට එවා ඇති බවට අනාවරණ වී ඇති බවද චන්දන පුංචි හේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වන පුද්ගලයන් සමාජයට යළි යොමු කර ඔවුන් වැඩදායී පුරවැසියන් බවට පත් කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක වන බවද මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.