ගුරු හිඟය පියවීමට මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට විෂයානුබද්ධව ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

ගුරු හිඟය පියවීමට මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට විෂයානුබද්ධව ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
  • SocialShare:

රටේ පවතින දැවැන්ත ගුරු හිඟය පියවීම සඳහා මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව, පාසල්වල පවතින නිශ්චිත විෂය පුරප්පාඩු ඉලක්ක කරගනිමින් (විෂයානුබද්ධව) ගුරුවරුන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙලක් වත්මන් රජය විසින් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජූලි 15 වන දින ආණමඩුව, කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද පන්ති කාමර සහිත නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"2021 වසරෙන් පසුව රටේ විධිමත් ගුරු බඳවා ගැනීමක් සිදුව නැහැ. මේ වසරේදී පමණක් ගුරුවරුන් 30,000ක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන සහ අනුමැතිය ලබා දී අවසන්. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව පසුගිය මැයි මාසයේදී ඒ සඳහා පවත්වන ලද විධිමත් තරඟ විභාගයට උපාධිධාරීන් ඇතුළු සුදුසුකම්ලත් අපේක්ෂකයින් 180,000ක් පෙනී සිටියා. දැනට එහි උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වෙමින් පවතින අතර, මේ වසර අවසන් වීමට පෙර ගුරුවරුන් 30,000ක පමණ පිරිසක් කඩිනමින් පාසල් පද්ධතියට බඳවා ගන්නවා. මෙවර විශේෂත්වය වන්නේ වසර ගණනාවක් පුරා පවතින ගණිතය වැනි විෂයන් සඳහා පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස, අදාළ විෂය ප්‍රවීණතාවය සහිත ගුරුවරුන්ම සේවයට බඳවා ගැනීමයි. එමෙන්ම විදුහල්පති සේවයේ පවතින ගැටලු සඳහා ද කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නවා."

මෙහිදී කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ පවතින පුස්තකාල පහසුකම් අවම වීම පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම වෙනුවෙන් පාසලට සතුටුදායක මට්ටමේ ස්ථිර පුස්තකාලයක් සහ ඊට අදාළ පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවත්, අමාත්‍යංශය මඟින් බස්නාහිර පළාතෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹූ 'ජංගම පුස්තකාල' වැඩසටහන ඉදිරියේදී මෙම ප්‍රදේශවලට ද ව්‍යාප්ත කරන බවත් සහතික විය.

"රජයේ සේවකයින්ට සහ ගුරුවරුන්ට ගෞරවනීය ලෙස ජීවත් වීම සඳහා වත්මන් රජය කිසිදු ඉල්ලීමකින් තොරව 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැටුප් සියයට 35කින් ඉහළ නැංවූවා. ඒ සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කළා. 2026 ජනවාරි මාසයේදීත් තවත් සියයට 35ක් වැඩි කළ අතර, 2027 වසරේදී ඉතිරි සියයට 30ක වැටුප් වර්ධකයද ලබා දීමට කටයුතු සූදානම්. මීට අමතරව රාජ්‍ය සේවකයින්ට නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීම සඳහා ලබා දෙන දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා උපරිමයකට වැඩි කර තිබෙනවා. රජයට මෙය බරක් වුවත් ගුණාත්මක රාජ්‍ය සේවයක් බිහි කිරීමට මෙමඟින් විශාල අත්වැලක් ලැබෙනවා."

"අද විවෘත වූ මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ දෙමාපියන් එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේදී රජයට ගෙවූ බදු මුදල්වලින්. එබැවින් දෙමාපියන්ගේ එම කැපකිරීමට සහ දහඩියට සාධාරණයක් ඉටු කළ හැක්කේ දරුවන් ගුණයෙන් හා ඥානයෙන් පිරුණු රටට වැඩදායී පුරවැසියන් බවට පත්වීමෙන් පමණයි. දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන දෙමාපියන්ගේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් රජය 'අස්වැසුම' සහන මෙන් ම පොහොර සහනාධාර ද ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ස්වභාවික ව්‍යසනවලින් පීඩාවට පත් ජනතාවගේ දේපල යථාවත් කිරීමට රජය රුපියල් කෝටි 10ක් වෙන් කර වැඩකටයුතු කරගෙන යනවා."

"රටේ වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් ඉලක්ක කරගනිමින් ගම්බිම් කරා පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය සුනාමියකට හෝ ලෝක යුද්ධයකට වඩා භයානකයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමට පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ ආගමික නායකයින් එක්ව රටම එකම මිටකට සලකා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති අතර, දෙමාපියන් මේ පිළිබඳව සෙවිල්ලෙන් සිටිමින් ඊට සහය දැක්විය යුතුයි. දරුවන්ද කිසිදු අයුරකින් මත්ද්‍රව්‍ය අත්හදා බැලීම්වලට යොමු නොවිය යුතුයි.

එමෙන්ම මේ දිනවල රටේ පවතින දැවැන්ත ඩෙංගු අධිවසංගත තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන් ඇතුළුව 50කට ආසන්න පිරිසක් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. 70කට ආසන්න පිරිසක් රෝගාතුර වී සිටිනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට පමණක් තනිවම බෑ. දින 3-4කට වරක්වත් අපේ නිවෙස් සහ පාසල් පරිසරය පිරිසිදුව තබා ගැනීමට ප්‍රජාවක් ලෙස අප සැම දායක විය යුතුයි."

මෙම අවස්ථාවට ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආලෝක බණ්ඩාර මහතා, පල්ලම අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, ප්‍රජාශක්ති නියමුවන් වන කපිල කුමාර, චාමර සඳරුවන් යන මහත්වරුන් ඇතුළු දෙමාපියන් සහ සිසු-සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ.