මහනුවර ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4ක් ඉදිරි දෙවසර තුළ නිම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

මහනුවර ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4ක් ඉදිරි දෙවසර තුළ නිම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්
  • SocialShare:

මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ නාගරික පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක ඉදිකිරීම් කටයුතු ඉදිරි දෙවසර තුළ සම්පූර්ණයෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ගැටඹේ හන්දිය ගුවන් පාලම, මහයියාව යටිබිම් උමං මාර්ගය, විලියම් ගොපල්ලව මාර්ගය සහ ලුවී පීරිස් මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කර ඇත.

මෙම ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාවක් ඊයේ (15) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

විවිධ දේශපාලනික, පරිපාලනමය සහ මූල්‍යමය ගැටලු හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ගැටඹේ හන්දිය ගුවන් පාලමේ සංවර්ධන කටයුතු 2025 පෙබරවාරි මාසයේදී යළි ආරම්භ කර තිබේ.

ගන්නෝරුව – මහනුවර සහ පේරාදෙණිය – මහනුවර ඇතුළු ප්‍රධාන මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් බිලියන 14කි.

මහනුවර නගරයේ දෛනික රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මංතීරු හතරක් දක්වා පුළුල් කර සංවර්ධනය කෙරෙන විලියම් ගොපල්ලව මාර්ග ව්‍යාපෘතියද නිරීක්ෂණයට ලක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 675ක මුදලක් වෙන් කර ඇත.

එමෙන්ම මහනුවර – බූවැලිකඩ – අම්පිටිය ප්‍රදේශ සම්බන්ධ කරන ලුවී පීරිස් මාර්ගය ද ද්විත්ව මංතීරු සහ දෙපස පදික මංතීරු සහිතව සංවර්ධනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 539ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර කඳු සහිත හා නායයාම් අවදානමක් සහිත ප්‍රදේශයක් හරහා දිවෙන මෙම මාර්ගය නව ආරක්ෂිත තාක්ෂණික ක්‍රමවේද යටතේ ශක්තිමත් කෙරේ.

මහනුවර – යාපනය (A-009) ප්‍රධාන මාර්ගයට සහ උඩරට දුම්රිය මාර්ගයට පහසුකම් සැලසෙන පරිදි ඉදිකෙරෙන මහයියාව උමං මාර්ගයේ සංවර්ධන කටයුතුද නිරීක්ෂණයට ලක්විය. මීටර් 31.7ක දිගකින් යුතු මෙම උමං මාර්ගය මීටර් 21.8ක පළලකින් සහ මීටර් 9ක උසකින් සමන්විත වන අතර ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 650කි.