දරුවන් වෙනස් කිරීමට පෙර වැඩිහිටියන් වෙනස් විය යුතුයි – අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ්

දරුවන් වෙනස් කිරීමට පෙර වැඩිහිටියන් වෙනස් විය යුතුයි – අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ්
  • SocialShare:

දරුවන්ගේ ලෝකය තේරුම් ගනිමින් ඔවුන් කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත්, දරුවන්ගේ හැසිරීම් වෙනස් කිරීමට නම් පළමුව වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාර වෙනස් විය යුතු බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය අවධාරණය කළාය.

ඇය මේ අදහස් පළ කළේ “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ 2026 මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ  (15) පෙරවරුවේ ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවේදීය. මෙම වැඩසටහන ජූලි 14 සිට 20 දක්වා පැවැත්වෙන මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතියට සමගාමීව ක්‍රියාත්මක වේ.

අමාත්‍යවරිය සඳහන් කළේ දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ගේ අනාගතය නිසි ලෙස මඟ පෙන්වීම වැඩිහිටියන්ගේ වගකීම බවයි. සොඳුරු පවුල් පරිසරයක හැදී වැඩෙන දරුවෙකුගේ පෞරුෂය ශක්තිමත්ව වර්ධනය වන අතර, දරුවන්ගේ අවශ්‍යතා හා සිතුවිලි තේරුම් ගනිමින් ඔවුන් කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවක් බවද ඇය පැවසුවාය.

වර්තමානයේ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය, හිංසනය, නොසලකා හැරීම සහ අධ්‍යාපනයෙන් ඉවත් වීම වැනි ගැටලු බොහෝවිට වැඩිහිටි සමාජයේ හැසිරීම්වල ප්‍රතිඵල බව පෙන්වා දුන් අමාත්‍යවරිය, දරුවන්ගේ හැසිරීම වෙනස් කිරීමට නම් පළමුව වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාර වෙනස් කළ යුතු බව සඳහන් කළාය. එමෙන්ම, ගැටලු සාකච්ඡාවෙන් විසඳා ගැනීම, ආදරය හා ධනාත්මක හික්මවීම තුළින් දරුවන්ට ආදර්ශ ලබාදීම සමාජයේ සියලු දෙනාගේ වගකීමක් බවද ඇය අවධාරණය කළාය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පැවසුවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් දිස්ත්‍රික්කය පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, “දරුවන් ඉදිරියේ ආරවුල් වළකමු” යන තේමාව යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන බවයි.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිලූෂිකා ධනසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම, රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් සහ පෙරපාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.