වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්
  • SocialShare:

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL), සිලෝන් ෂිපිං කෝපරේෂන් (CSCL), ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SLA), ශ්‍රී ලංකා කේටරින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම, ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (JCT) යන ආයතනවල ක්‍රියාකාරිත්වය, 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී විමසා බලනු ලැබීය.

මෙහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජයේ ආධාර මගින් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහන, කන්කසන්තරේ වරාය ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එමෙන්ම කොළඹ වරායේ Logistic Park, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම සහ බටහිර පර්යන්තයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමත් ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තවද වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි වසර 3කින් අවසන් කිරීමට නියමිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

මේ යටතේ වසර 2027 වසර තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තය ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.