උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු දකුණු ආසියාවේ දිගම භූගත වාරි උමගේ ඉදිකිරීම් කටයුතු ඊයේ (15) සාර්ථකව අවසන් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 50ක වියදමින් රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය දේශීය හා චීන ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් ඉදිකෙරෙන අතර 2030 වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
කළුගඟ හා මොරගහකන්ද ජලාශවල ජලය උතුරු මැද පළාතේ වියළි කලාපීය ප්‍රදේශ වෙත රැගෙන යාම, කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ස්ථාවර ජල සැපයුමක් ලබාදීම, පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීම සහ දීර්ඝකාලීන වකුගඩු රෝග ගැටලුවට තිරසාර විසඳුමක් සැපයීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 95ක මහ ඇල මාර්ගයේ කොටසක් ලෙස කිලෝමීටර් 28ක භූගත වාරි උමඟක් ඉදිකර ඇති අතර ඒ සඳහා නවීන Double Shield Tunnel Boring Machine (TBM) තාක්ෂණය භාවිත කර තිබේ.
ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු හෙක්ටයාර 74,000ක වගාබිම් සඳහා ජලය සැපයෙන අතර මහා වාරි පද්ධති 12ක් සහ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 1,500කට අධික සංඛ්‍යාවක් පෝෂණය කෙරෙනු ඇත.
එමෙන්ම වාර්ෂිකව ඝන මීටර් මිලියන 70ක අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමටත්, පානීය ජල අවශ්‍යතා සඳහා කියුබික් මීටර් මිලියන 40කට ආසන්න ජල ප්‍රමාණයක් වෙන්කර තිබේ. මෙම ව්‍යාපෘතියෙන් උතුරු මැද පළාතේ පවුල් 175,000කට පමණ සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය.
මෙම අවස්ථාවට වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන්, චීන සමාගමේ නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


