මේ දක්වා විෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්වලින් සැකකරුවන් 230248ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද (16) රටම එකට ජාතික මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඒ අනූව අයිස් සම්බන්ධයෙන් 89056 දෙනෙකු සහ අයිස් කිලෝ ග්‍රෑම් 2608ක් අත්අඩංගුවට ගත් අතර හෙරොයින් සම්බන්ධයෙන් 74619 දෙනෙකු සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2248ක් අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
ගංජා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල්, විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති ආශ්‍රිතව පුද්ගලයින් 51495ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 7481ක් අත්අඩංගුවට ගත් බවද කොකේන් සම්බන්ධයෙන් පුද්ගලයින් 201 දෙනෙකු සහ කොකේන් කිලෝ 289ක් අත්අඩංගුවට ගත් බවද වැඩිදුරටත් පැවසුවේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙන කුෂ්, හෂීෂ් සම්බන්ධයෙන් වැටලීම් සිදුකරමින් කුෂ් කිලෝ 1636ක්ද හෂීෂ් කිලෝ 349ක්ද වශයෙන් හෙරොයින්, අයිස්, කොකේන්, කුෂ් ආදී අන්තරාදායක විෂ මත්ද්‍රව්‍ය මුළු අත්අඩංගුවට ගැනීම් 15918ක් සිදුකළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
මත්පෙති 3564519ක් අත්අඩංගුවට ගත් බවද බහුතරයක් මත්ද්‍රව්‍ය හා මත්පෙති පාසල් ළමුන් අතර ව්‍යාප්තියක් දක්නට වූ බවද පැවසූ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා මත්පෙති ජාවාරම්කරුවන් 989 දෙනෙකු සහ ජාවාරම්කරුවන්ට අනුබල දෙන්නන් 4802ක් ද ඇබ්බැහි වූවන් ලෙස 15276 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව සදහන් කළේය.
වත්කම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 368 දෙනෙකු බිලියන 1.5කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයිද ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වත්කම්වලින් උපයා ගන්නා දේපළ මුදල්, රත්තරන්, ඉඩකඩම් ආදිය අත්අඩංගුවට ගැනීම සදහා රැඳවුම් නියෝග මත 3113කගෙන් ප්‍රශ්නකර ඇතැයිද 2263ක් පුනුරුත්ථාපනයට යොමුකර ඇතැයිද පැවසුවේය.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය කෙටි කාලයකින් විනාශ කිරීමට අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද වැඩිදුරටත් පැවසුවේය. ජනවාරි මස සිට මේ දක්වා අවස්ථා 05කදී මත්ද්‍රව්‍ය කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් පුත්තලම වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කර ඇතැයිද අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පැවති නඩු භාණ්ඩ 4000කට වැඩි ප්‍රමාණයක් ලැක්ටෝවත්ත දහන උඳුනට ගෙනගොස් විනාශ කළ බවද පැවසුවේය.
පාසල් ළමුන් එනම් අවුරුදු 21ට අඩු ළමුන් විශාල ප්‍රමාණයක් එනම් ළමුන් 8459 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයිද මෙහිදී අවුරුදු 21ට අඩු ගැහැණු දරුවන් 161 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසුවේය. අපොස සාමාන්‍ය පෙළ විභාගය ළමුන්අසමත් වුවහොත් විශාල වශයෙන් සමාජය තුළ ළමුන් මත්ද්‍රව්‍ය වලට පෙළඹීමක් දැකගත හැකි බවද විශාල වශයෙන් නාගරික ප්‍රෙද්ශවල අනාරක්ෂිත පවුල්, දෙමාපියන් මත්ද්‍රව්‍ය වලට හුරුවී තිබීම සහ දෙමාපියන් විදේශගත වීම වැනි කාරණා හේතු කොටගෙන ළමුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී ඇති බවද පෙන්වා දුන්නේය.
ඔවුන් පුනුරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලු කටයුතු පුනුරුත්ථාපන දෙපාර්තමේන්තුව, බන්ධනාගාරය හරහා සිදුකිරීමට විශාල වශයෙන් කටයුතු කරගෙන යන බවද පැවසුවේය.
අවුරුදු 18ත් 21ත් අතර ළමුන් හෙරොයින් සම්බන්ධයෙන් 1266 දෙනෙකු මාස 08ක පමණ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයිද කාන්තා ළමුන් 26 දෙනෙකු අයිස් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයිද ළමුන් 2319ක් අත්අජංගුවට ගත් බවද පැවසුවේය.
පාසල් අවට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙළඳාම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා විසින් සියලු කොට්ඨාශභාර නිලධාරීන් දැනුවත් කර ඇතැයිද සදහන් කළේය. අයිස් සම්බන්ධයෙන් සැකකරුවන් 2519ක් හා ගැහැණු ළමුන් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසුවේය.
මේ අනූව දෛනිකව විශාල වැටලීම් ප්‍රමාණයක් සිදුවන බවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, මත්ද්‍රව්‍ය කාර්යංශය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා රේගුව සහ නාවික හමුදාව මාර්ගයෙන් විශාල වැටලීම් ප්‍රමාණයක් සිදුකරමින් අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදුකරමින් යන බවද අවධාරණය කළේය.
දෛනිකව සැකකරුවන් 750 – 1000ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගන්නා බවද මේ අනූව බන්ධනාගාර වල මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් පයොමු කිරීම මත විශාල තදබදයක් පවතින බවද ඔවුන් ඉදිරි කාලයේදී විශාල වශයෙන් පුනුරුත්ථාපනයට යොමු කිරීමටත් ඒ හරහා බන්ධනාගාරවල තදබදය අඩු කිරීමටත් දැනට නීතිමය කටයුතු සිදුකරමින් පවතින බවද අවධාරණය කළේය. ඔවුන් පුනුරුත්ථාපනයට යොමු කිරීම මගින් නැවත සමාජයට යොමු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය.


