පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා සහතිකපත් හුවමාරු කෙරේ

පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා සහතිකපත් හුවමාරු කෙරේ
  • SocialShare:

2027 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සහතිකපත් හුවමාරු කිරීමේ අවස්ථාව ඊයේ (15) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර එකඟතාවය තහවුරු කරගනිමින් සහතිකපත් හුවමාරු කරගැනීම ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අතර සිදුවිය.

මෙම ව්‍යාපෘතිය යටතේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා 2027 වසරට අවශ්‍ය නිල ඇඳුම් රෙදි සැපයීමට නියමිතය.

සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා රෙදි මීටර් මිලියන 10.820ක ප්‍රමාණයකින් යුත් රෙදි තොගයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර උපදේශකතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.