විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වූ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ඉදිරි අයවැයට ඉදිරිපත් කරන්න - ජනපති

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වූ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ඉදිරි අයවැයට ඉදිරිපත් කරන්න - ජනපති
  • SocialShare:

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මේ වන විට රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන්

වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සංචාරක කටයුතුවලට අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා එම ව්‍යාපෘතිවලට වෙන් කෙරෙන මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනුවෙන් ඇති මුදල් සංචිතයට සෘජුවම යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස්  දුන් අතර, මෙමගින්  දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටුවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බවද පෙන්වා දුන්නේය.

සීගිරිය, ගලේවල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන්, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසද  උපදෙස් දුන් ජනාධිපතිවරයා,  ඒ ඒ ආයතන වෙන් වෙන්ව කටයුතු කිරීම වෙනුවට එක් පොදු සැලැස්මක් යටතේ කටයුතු කිරීමෙන් කාලය සහ ශ්‍රමය ඉතිරි කරගත හැකි බවද පෙන්වා දුන්නේය.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඊට විසඳුමක් ලෙස ලබන වසරේ ජනවාරි මුල් සතියේ සිටම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට  හැකි වන පරිදි මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව සැලැස්ම අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එසේම සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ඉදිකිරීම් වැනි සුවිශේෂී ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා වෙනම මැදිහත් වීමක් කර එම ක්‍රියාවලිය කඩිනම් කිරීමටද එකඟතාව පළ කෙරිණි.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු විකාශකයින්ගේ සමුළුව වැනි වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, කොන්සියුලර් සේවා වඩා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් තවදුරටත් ඩිජිටල් අමාත්‍යාංශය සමග එක්ව වැඩසටහන් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති සම්පත් සහ ඉඩම් පිළිබඳ  විධිමත් වාර්තාවක් පසුගිය රජයන් යටතේ සකස් කර නොමැති වීමද මෙහිදී අවධානයට ලක් කෙරුණු අතර, අදාළ වාර්තාව සැකසීමේ කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම වසර 2030 වන විට ලක්ෂ 8ක මානව සම්පතක් සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් අවශ්‍ය බව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ වෙනුවෙන් දැනට හෝටල් පාසල් මඟින් ක්‍රියාත්මක පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ මුදල් අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.