කොළඹ කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරය වාර්ෂිකව සංවිධානය කරන, මිහිඳු මහා පෙරහැර ජූලි 18 වෙනිදා පැවැත් වීමට සියලු කටයුතු සූදානම් බව , කිරුළපන පුෂ්පාරාම විහාරස්ථානාධිපති විශ්ව කීර්ති, ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත පූජ්‍ය ඇල්කඩුවේ නාභිත ස්වාමින් වහන්සේ පැවසූහ.
අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට ඒක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන එකම මිහිඳු පෙරහැර මෙම මිහිඳු පෙරහැර බවත්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් මෙම පෙරහැර පැවැත්වෙන බවද ස්වාමින් වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මඟින් මිහිඳු පෙරහර මෙවර වීථි සංචාරය කරන්නේ 32වන වසරටයි.
මෙම මාධ්‍ය හමුවට වැඩම කළ විහාරාධිකාරි, කොළඹ ලුම්බිණි විද්‍යාලයේ සහකාර විදුහල්පති, ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී පණ්ඩිත පූජ්‍ය දිවිතුරේ සමන්ත ස්වාමීන්වහන්සේ මිහිඳු මහා පෙරහැර ජූලි 18 වැනිදා පස්වරු 7.40ට යෙදී ඇති සුබ නැකතින් ආරම්භ කිරීමට නියමිත බව පැවසූහ.
උන්වහන්සේ සඳහන් කළේ මෙවර පෙරහැර උඩරට, පහතරට සහ සබරගමුව නර්තන අංගවලින් මෙන්ම අලි ඇතුන්ගේ සහභාගිත්වයෙන්ද අලංකාර වූ සුවිශේෂී කලා මංගල්‍යයක් ලෙස පැවැත්වෙන බවයි.
පෙරහැර කිරුළපන මාවත, හයිලෙවල් පාර, බේස්ලයින් මාවත සහ පොල්හේන්ගොඩ හන්දිය ඔස්සේ ගමන් කරන බැවින් එම මාර්ගයන්හි සිට සියලුම ජනතාවට පෙරහැර නැරඹීමේ අවස්ථාව හිමිවන බවද උන්වහන්සේ පැවසූහ.
පෙරහැර රාත්‍රී 12.00ට පමණ නැවත විහාරස්ථානය වෙත ගෙවැදීමට නියමිත බවත් පෙරහැරට සහභාගි වන සියලු දෙනා සඳහා තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කර ඇති බවත් සඳහන් කළහ.
එමෙන්ම තේ කෝප්ප ඇතුළු අපද්‍රව්‍ය මාර්ගය දෙපස නොදමා පරිසරය පිරිසිදුව තබාගෙන ආගමික උත්සවයේ ගෞරවය රැකගැනීමට සියලු දෙනා සහයෝගය ලබාදෙන ලෙසද පූජ්‍ය දිවිතුරේ සමන්ත ස්වාමීන්වහන්සේ ඉල්ලා සිටියහ.


