පසුගිය මාස 08කට ආසන්න කාලය තුළ රාජ්‍ය සේවයට 62,314ක් අලුතෙන් බඳවා ගැනීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පසුගිය කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගත් සමහර තනතුරු සම්බන්ධයෙන් විවේචන පැවති බවද ඔවුන්ට වැඩ කරගැනීමට පහසුකම් ප්‍රමාණවත් නොවුණු බවද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා ඒ නිසාම මෙම රජය බලයට පත්වූ පසුව මෙන්ම මැතිවරණ කාලයේද රාජ්‍ය සේවය කළමනාකරණය කරගැනීම, ඡලදායී හා ප්‍රශස්ථ කරගැනීම සඳහා ඊට උවමනා බඳවා ගැනීම් කරනවා මිසක් අන්ධව බඳවාගැනීම් නොකරන බවට ප්‍රකාශ කළ බවද සිහිපත් කළේය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා තීරණ ගැනීමට අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇතැයිද, සියලු බඳවාගැනීම් සම්බන්ධ යෝජනා අමාත්‍යංශ මගින් එයට යොමු කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා එහිදී විෂයට සම්බන්ධ නිලධාරීන් විසින් විටින් විට බඳවාගැනීම් සඳහා අනුමැතිය ලබාදී ඇතැයිද අවධාරණය කළේය.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය හිමිවූ 62,314න් සමහර බඳවා ගැනීම් මේ වන විට අවසන් වී ඇතැයිද තවත් සමහර බඳවාගැනීම් සඳහා විභාග හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද සිහිපත් කළ අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවද පැවසුවේය.
ආරක්ෂක අමාත්‍යංශයට 12,433ක් බඳවාගැනීමට අනුමැතිය හිමිව ඇතැයිද, ඒ තුළ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් ඇතුලු 4415ක්ද ශ්‍රී ලංකා නාවික හමුදාවට නිලධාරීන් 5200ක් සහිතව 12,433 බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇතැයි පෙන්වාදුන්නේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට 11,889ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇතැයිද, ඒ යටතේ වෛද්‍ය නිලධාරීන් 1408ක්, හෙද නිලධාරීන් 3147ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 976ක්, උපස්ථායකයින් 1000ක්, සෞඛ්‍ය කාර්යය සහායකයින් 1939ක් වශයෙන් අනුමැතිය හිමිව ඇතැයි පැවසුවේය.
තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් සහායකයින් 1000ක්, ලියාපදිංචි ආදේශකයින් 1000ක්, තැපැල් සේවා නිලධාරීන් 600ක්, උප තැපැල් නිලධාරීන් 378ක් ලෙස බඳවාගැනීම් කර ඇතැයිද සඳහන් කළේය.
මෙලෙස අමාත්‍යංශ සියල්ලකම පාහේ අවශ්‍යතාවය අනූව බඳවාගැනීම් සඳහා අනුමැතිය ලබාදී ඇතැයිද එමෙන්ම රැකියා විරහිත උපාධිදාරීන්ට ඉල්ලුම් කළ හැකි තනතුරු රාශියක් පවතින බවද අවධාරණය කළේය. එමෙන්ම ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගුරුවරු දහස් ගණනක් බඳවා ගැනීමට නියම්ත බවද පැවසුවේය.
රජය විසින් රැකියා ලබාදෙන බවද පනස්දාහ හැටදාහ එකවර බදවාගෙන පුටුවක් මේසක් නොමැතිව රාජකාරියේ යෙදීමට සිදුවන පරිදි බඳවා නොගන්නා බවද අවධාරණය කළ අමාත්‍යවරයා ඉතාම විද්‍යානුකූලව රටේ පවතින ආර්ථික තත්ත්වය , රාජ්‍ය සේවය පුළුල් කළ යුතු තත්ත්වය , මහජනතාවට සැලසිය යුතු සේවාව මෙන්ම රට රැගෙන යන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආදිය සැලකිල්ලට ගෙන බදවාගන්නා ප්‍රමාණය තීරණය කරන බවද පෙන්වා දුන්නේය.
ඉදිරියට බඳවා ගැනීමේ ප්‍රමාණය තවත් වැඩි වන බවද උද්ඝෝෂණ කිරීමට අවශ්‍ය නොවන අතරම අවස්ථා ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.


