දේශීය තාක්ෂණික දැනුම සහ නවෝත්පාදන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික භාවිතයට ගෙන එමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස කුරුකුලාව ප්‍රදේශයේ පැවැති විශේෂ ඩ්‍රෝන තාක්ෂණික වැඩමුළුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී දේශීය සමාගමක් වන CodeGen International විසින් සැලසුම් කර, පාලන මෘදුකාංග සහ පාලන පද්ධති සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරන ලද බීජ හා ඝන පොහොර ඉසීම සඳහා භාවිත කළ හැකි නවීන කෘෂි ඩ්‍රෝන යානයක් ප්‍රදර්ශනය කෙරිණි. වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ දෙන ශ්‍රම හිඟයට කාර්යක්ෂම විසඳුමක් ලෙස මෙම තාක්ෂණය හඳුන්වා දෙන අතර, කාලය හා පිරිවැය ඉතිරි කරමින් නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද එය දායක වන බව අවධාරණය කෙරිණි.
එමෙන්ම තාක්ෂණය පදනම් කරගත් “ස්මාර්ට් තරුණ ගොවි පරපුරක්” බිහිකිරීම සඳහා මෙවැනි නවීන මෙවලම් හඳුන්වාදීම වැදගත් වන අතර, දැනට කිලෝග්‍රෑම් 3 සිට 5 දක්වා ධාරිතාවයකින් යුත් මෙම ඩ්‍රෝන යානා ඉදිරි මහ කන්නයේදී වියළි කලාපයේ වී වගාවන් සඳහා බීජ තැන්පත් කිරීම සහ යල කන්නයේදී ඝන පොහොර යෙදීම සඳහා යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. තවද, ගොවි ජනතාවගේ අවශ්‍යතා අනුව කිලෝග්‍රෑම් 25 සහ 50 ධාරිතාවයකින් යුත් වැඩිදියුණු කළ ඩ්‍රෝන යානා නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජිතයින්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයින්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


