පෑලියගොඩ ගංගාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ධම්මසේනාපති භාෂාන්තරවිශාරද අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උළෙල ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, මහා සංඝරත්නය, ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් සහ විශාල පිරිසක්ද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා සහ අධ්‍යාපනික, ආගමික හා සමාජීය ක්ෂේත්‍රයන්හි අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ සිදුකර ඇති මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙම උළෙල සංවිධානය කර තිබූ අතර, මහා නායක ධූරයට පත්වීම සනිටුහන් කරමින් ශ්‍රී සන්නස් පත්‍රය නිල වශයෙන් පිළිගැන්වීම එහිදී සිදු කෙරිණි.


