අතරමඟ නැවතුණු සෞඛ්‍ය ව්‍යාපෘති 25ක් යළි ඇරඹේ

අතරමඟ නැවතුණු සෞඛ්‍ය ව්‍යාපෘති 25ක් යළි ඇරඹේ
  • SocialShare:

2014, 2016, 2017, 2018, 2019 සහ 2024 වසරවල ආරම්භ කර විවිධ හේතූන් මත අතරමඟ නවතා දමා තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25ක වැඩකටයුතු යළි ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

ඒ සඳහා රුපියල් මිලියන 76,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, පිළිකා ප්‍රතිකාර ඒකක, හෘද සහ වකුගඩු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන, හදිසි අනතුරු සහ බාහිර රෝගී ඒකක, හෙද පුහුණු හා නේවාසික පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය ව්‍යාපෘති රැසක් ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘති සඳහා 2025 වසරේදී රුපියල් මිලියන 16,000ක්, 2026 වසර සඳහා රුපියල් මිලියන 19,000ක් සහ 2027 වසරේදී රුපියල් මිලියන 38,000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, වසර ගණනාවක් තිස්සේ ඇනහිට තිබූ සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට නව ජවයක් ලබාදීම එමඟින් අපේක්ෂා කෙරේ.