පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් අනාථ වීම සහ ළමා අපයෝජන ඉහළ යාම බරපතළ සමාජ ගැටලුවක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
පල්ලම ප්‍රදේශයෙන් පසුගිය මාස පහක කාලය තුළ ළමා අපයෝජන සිද්ධීන් 9ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අපයෝජනයට ලක්වූ දරුවන්ගෙන් බහුතරයකගේ දෙමාපියන් විදේශගතව සිටීම, මියගොස් තිබීම හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් ඔවුන් පවුල් පසුබිමෙන් හුදෙකලා වී ඇති බවද සඳහන් කෙරිණි.
දරුවන් අනාථ වීමේදී පවුල් පසුබිමේ බලපෑම ඉතා විශාල වන අතර එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් සියලු දෙනාටම වගකීමක් ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා රජය “ඉවත්වනු” නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම රජයේ ඉලක්කය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෑත කාලීන වැටලීම්වලදී අයිස් සහ හෙරොයින් වැනි මාරාන්තික මත්ද්‍රව්‍ය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවත් එම ජාවාරම් පිටුපස සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වන බවත් ඔහු අනතුරු ඇඟවීය.
පොලිසියට තොරතුරු ලබාදීමට යම් බියක් හෝ අපහසුතාවක් ඇත්නම්, ඒ පිළිබඳව වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දිය හැකි බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
මාර්ග ආරක්ෂාව පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා හිස් ආවරණ නොපැළඳ යතුරුපැදි ධාවනය කරන තරුණයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළේය.
එමෙන්ම ප්‍රදේශයේ නැවත ව්‍යාප්ත වෙමින් පවතින අනවසර වැලි ජාවාරම මැඩපැවැත්වීම සඳහා වැලි කැණීම්, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබේන බවද ඔහු පැවසීය.
පක්ෂ, ජාති හෝ ආගම් භේදයකින් තොරව මෙම ගැටලු සමාජ ව්‍යසනයන් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනාගේ සාමූහික දායකත්වය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


