2026 සංවර්ධන සැලසුම් කඩිනම් කිරීමට මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අවධානය

2026 සංවර්ධන සැලසුම් කඩිනම් කිරීමට මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අවධානය
  • SocialShare:

මුලතිව් දිස්ත්‍රික්කයේ 2026 වසර සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීම සහ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද (04) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වන්නි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් සංවර්ධන නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ පවතින හිඟය පිළිබඳ අවධානය යොමු වූ අතර ඉදිරි මාස කිහිපය තුළ එම පුරප්පාඩු පිරවීමට අදාළ අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම , මුලතිව් දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධවේදීන්ගේ දැඩි හිඟයක් පවතින බවද මෙහිදී අනාවරණය විය. අවශ්‍ය සංඛ්‍යාවෙන් ඖෂධවේදීන් 34 දෙනෙකුගේ හිඟයක් පවතින අතර දැනට 11 දෙනෙකු පමණක් සේවයේ නිරතව සිටින බව නිලධාරීහු පෙන්වා දුන්හ.

 මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කෙරිණි.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස හානි වූ පවුල් 1,121ක් සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙළද රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. ඒ අනුව අදාළ පවුල් වෙත වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම සුළි කුණාටුවෙන් හානි වූ වැව් දහයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාද අවධානය යොමු කෙරිණි.

ප්‍රජාශක්ති “ගම් දහසක් – වැඩ දහසක්” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 136ක් සඳහා රුපියල් මිලියන 363.87ක මුදලක් වෙන්කර ඇති බව මෙහිදී අනාවරණය විය. තවද ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කිරීමට අනුමැතිය හිමි වූ අතර යාපනය විශ්වවිද්‍යාලයට අයත් ධීවර අධ්‍යාපන මධ්‍යස්ථානයක් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමටද සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබිණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ජෙගදීස්වරන් සහ එස්. තිලගනාදන් ඇතුළු වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් රැසක් සහභාගි වූහ.