පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට රජයේ ප්‍රමුඛතාවය

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට රජයේ ප්‍රමුඛතාවය
  • SocialShare:

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම රජයේ මුඛ්‍ය පරමාර්ථයක් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය.

සූර්ය බලශක්ති සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ගැටලු පැනනැගී ඇති බවත් , ඒ අනුව පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  රජය අවධානය යොමු කර ඇතැයිද කීය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පාවෙන සූර්ය බලශත්කි  සංවර්ධනය කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරය කීය. මේ වන විට ජලාශ කිහිපයක හඳුනාගෙන, පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවද කීය.

සූර්ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනයේ නව ක්‍රමවේදයක් ලෙස  පාවෙන සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ඇති වැදගත්කම සැලකිල්ට ගනිමින්, පූර්ව ශක්‍යතා අධ්‍යයන, ශක්‍යතා අධ්‍යයන සහ  පාරිසරික බලපෑම් තක්සේරු සිදු කිරීම සඳහා  උපදේශන  සේවා සැපයීම වෙනුවෙන්  පිළිගත් සමාගම්වලින් යෝජනා කැඳවමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබේ.

වසර 2030 වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශත්කි මූලාශ්‍රයන්ගෙන් සපුරාගැනීම සහ 2050 වන විට විදුලිබල උත්පාදනයේදී කාබන් උදාසීනභාවය ළඟා කර ගැනීම ඉලක්ක කරගනිමින් , පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම, ජාතික ප්‍රමුඛතාවයක් වශයෙන් හඳුනාගෙන කටයුතු කරන බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.