වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ (MOH - Wellawaya) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අමාත්‍යවරයා වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් ඉටුකරන සේවාවන් මෙන්ම එක්,එක් අංශ පිළිබඳවත්  එමෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.එච්. පියසුමන මහතාගෙන් සහ එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයෙන්  සේවා කටයුතු සම්බන්ධ ගැටළු පිළිබඳත් මෙහි දී කරුණු විමසන ලදී.

මාතෘ හා ළමා සෞඛ්‍ය, පෝෂණය, ආහාර හා පරිසර සෞඛ්‍යය, බෝ නොවන රෝග පාලනය හා ජලභීතිකා පාලනය,  දන්ත සෞඛ්‍ය, හා පාසල් සෞඛ්‍ය වැඩසටහන් ඇතුළු අනෙකුත් වැඩසටහන්  මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන හා  ප්‍රජා සත්කාරක වැඩසටහන් වල ප්‍රගතිය සහ  කාලීනව පැනණගින ගැටළු පිළිබදවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.එච්. පියසුමන මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින්  අමාත්‍යවරයාට මෙහි දී දීර්ඝව කරුණු පැහැදිලි කරනු ලැබීය.

මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයෙන් ප්‍රදේශයේ ඩෙංගු මදුරු මර්ධනය සදහා වර්ෂයකට දෙවතාවක් අනිවාර්යයෙන්ම සිදුකරනු ලබන වි‍ශේෂ නිවාස හා පරිශ්‍ර පරීක්ෂා වැඩසටහන පිළිබදව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.එච්. පියසුමන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය  මෙහි දී අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.

අදාළ ප්‍රදේශය තුළ නිවාස හා පරිශ්‍ර විසිදහසකට ආසන්න සංඛ්‍යාවක් ඇති බවත්, එකම දිනක, පැය තුනක් වැනි කාලයක් තුළ මෙම සියලු නිවාස හා පරිශ්‍ර පරීක්ෂාකර අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාදීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ ක්‍රියාදාමයක් ක්‍රියාත්මකවන බවත් ඔවුන් මෙහි දී පෙන්වා දෙනු ලැබීය. එමෙන්ම අවසන් වැඩසටහන පසුගිය මාර්තු මස එකොලොස් වනදා ක්‍රියාත්මක කළ බව ද මෙහි දී අනාවරණය විය.

මීට අමතරව විශේෂ තත්ත්වයන් තුළදී අමතර පරීක්ෂාවන් සිදු කිරීමට සිදුවුවහොත් ඒ සදහා ද අවශ්‍යවන වැඩසටහන් ද සම්පාදනය කර ඇති බවත්, මෙතෙක් ක්‍රියාත්මක මෙම සක්‍රීය වැඩපිළිවෙල නිසා එවැනි අමතර වැඩසටහන්වල අවශ්‍යතාවය මේ දක්වා ඇති නොවුණු බවද  එම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙහි දී සදහන් කර සිටියේය.

මෙවැනි  විශේෂ වැඩසටහන් තම රාජකාරී බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම තුළින් යහපත් සෞඛ්‍ය  පරිසරයක් නිර්මාණය කර ගත හැකි බවත්, මෙවැනි නිර්මාණාත්මක අදහසින් සේවයකරනු ලබන සෞඛ්‍ය වෘත්තිකයන් නිදහස් සෞඛ්‍ය සේවාවතුළ රාජකාරියේ නියැලීම  අතිශය වැදගත්වන වන බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේ ය.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ හැත්තෑ පන්දහකට ආසන්න ජනතාවක්  ජීවත් වන අතර  එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 730කට ආසන්නය. එම ජනතාවට සෞඛ්‍ය සේවාවන් සැපයීම  සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි කොට්ඨාශ 25ක් හා  වැල්ලවාය, රන්දෙනිය, තෙලුල්ල, හදපානාගල, ඇතිලිවැව වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ 05කට අදාළ භූමි ප්‍රමාණය වර්ගීකරණය කර ඇත.

මෙම අවස්ථාවට , වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ  සේවයේ නිරත වෛද්‍යවරුන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.