ගාල්ල ජාතික රෝහලේ දෙවන හෘද කැතීට රසායනාගාරය ප්‍රතිකාර සේවා සදහා විවෘත කෙරේ

ගාල්ල ජාතික රෝහලේ දෙවන හෘද කැතීට රසායනාගාරය ප්‍රතිකාර සේවා සදහා විවෘත කෙරේ
  • SocialShare:

2026 වසරේ මෙරට රෝහල් පද්ධතියට අළුතින් හෘද කැතීට රසායනාගාර 11 ක්

හෘද සැත්කම් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම සඳහා රජය පුර්ණ අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල ජාතික රෝහලේ දෙවන හෘද කැතීට රසායනාගාරය (Cardiac Chtheterization Laboratory) නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මහාචාර්ය ජර්ග් ගුනන්ෆෙල්ඩර් ඇතුළු දානපතීන් සහ ස්විට්සර්ලන්තයේ හෘද සායනික පදනම (Heart Clinic Foundation) විසින් ගාල්ල කරාපිටිය රෝහල සඳහා පිලිප්ස් අසුරියන් ඇන්ජියෝග්‍රැෆි (Philips Azurion Angiography Machine) යන්ත්‍රයක් මිලදී ගැනීමට දැක් වූ යුරෝ 650,000 ක මුල්‍ය දායකත්වය යටතේ මෙම හෘද කැතීට රසායනාගාරය පිහිටුවීමට පියවර ගෙන ඇති අතර, හෘද කැතීට රසායනාගාරය ප්‍රතිසංස්කරණය කර සකස් කිරීම සඳහා රෝහල තම අරමුදලින් රුපියල් මිලියන 25 ක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 35 ක මුදලක් වැය කර ඇත.

නව හෘද කැතීට රසායනාගාරය විවෘත කිරීමෙන් පසු එම ඒකකය අමාත්‍යවරයා ඇතුළු ස්විට්සර්ලන්තයේ හෘද සායන පදනමේ නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ද ලක් විය.

කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයාගේ ඉල්ලීම මත මෙම පරිත්‍යාගය ලබාදීම සඳහා කටයුතූ කිරීම පිළිබද  ස්විට්සර්ලන්ත පදනමට රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෝ නෝවන රෝග මෙරට සෞඛ්‍ය සේවාවට අභියෝගයක් බවත්, බෝනොවන රෝග පාලනය සඳහා කටයුතු සිදු කරන බව ද සඳහන් කරන ලදි

හෘද රෝග සමිබන්ධ සැත්කමි පොරොත්තු ලේඛණ අවම කීරීමේ අරමුණින් සිදු කරන හෘද සැත්කම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීමට රජය පූර්ණ අවධානයක් යොමු කර කටයුතු කරන බවත්, මේ වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ හෘද කැතීට රසායනාගාර 15 ක් ක්‍රියාත්මක වන බව ද  2026 වසරේ අළුතින් හෘද කැතීට රසායනාගාර 11 ක් ස්ථාපිත කිරිමට පියවර ගන්නා බවත්, තවත් හෘද කැතීට රසායනාගාර 04 ක් ස්ථාපිත කිරීමට සාකච්ජා සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

ස්විට්සර්ලන්තයේ හෘද සායනික පදනමේ  මහාචාර්ය ජර්ග් ගුනෙන්ෆෙල්ඩර් මහතා උත්සව සභාව අමතමින්   කරාපිටිය ජාතික රෝහල මගින් ලබාදෙනු ලබන හෘද රෝගී ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සඳහා සිදු කළ සිය මැදිහත්වීම පිළිබඳ මෙන්ම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රෝහල් අධ්‍යක්ෂ වරයා ඇතුළු නිලධාරීන් දක්වන ලද සහයෝගය ඇගයීමට ලක් කරන ලදි.

ශ්‍රී ලංකාවෙි සහ මාලදිවයින් ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය මෙරට සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ඈතුළු ක්ෂේත්‍ර  සඳහා ස්විට්සර්ලන්ත රජය දක්වන ලද දායකත්වයන් පිළිබඳව මෙහිදී සිහිපත් කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ කරාපිටිය රෝහලෙන් හෘද රෝග ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බවත් මෙම නව  ඒකකය පිහිටුවීම සමග හෘද රෝග ප්‍රතිකාර පොරොත්තු ලේඛණ අවම කර ගත හැකි වනු ඇති බවයි.

ගාල්ල ජාතික රෝහලේ දෙවන හෘද කැතීට රසායනාගාරය ස්ථාපනය කිරීමෙන් ඇන්ජියෝග්‍රැෆි (angiography) සහ පර්කියුටේනියස් කිරීටක ප්‍රතිකාර සේවා  (Percutaneous Coronary Intervention -PCI)  සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට දැනට ගතවන  වසරක කාලය මාසයක් දක්වා අඩු කළ හැකි වන අතර, ඇන්ජියෝග්‍රැෆි සඳහා දැනට රෝහලේ වසරක පොරොත්තු ලේඛනයක් පවතින අතර, එම පොරොත්තු ලේඛණ ද අවම කිරීමට හැකියාව ලැබේ.

එමෙන්ම මෙම නව හෘද කැතීට රසායනාගාරය පිහිටුවීම මගින් වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අඩු කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, පවතින ඒකකයේ බිඳවැටීම් හෝ නඩත්තු කිරීම් හේතුවෙන් සිදුවන සේවා බාධා අවම කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදි අරමුණු සඵල කර ගත හැකි වනු  ඇත.

ඌව පළාතේ සහ සබරගමුව පළාතේ ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් හෘද රෝගීන් විශාල සංඛ්‍යාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට යොමු කෙරේ.

ගාල්ල ජාතික රෝහල ඇඳන් 2,060 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම රෝහල වන අතර, මුළු දකුණු පළාතටම සහ සබරගමුව සහ ඌව යන පළාත් දෙකෙහිම අවසාන යොමු කිරීමේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.  දකුණු පළාතටට අමතරව වෙනත් ප්‍රදේශවලින් යොමු කරනු ලබන හෘද රෝගීන් සඳහා ද කරාපිටිය ජාතික රෝහල ප්‍රතිකාර සේවා ලබාදෙනු ලබන අතර මෙම නව හෘද කැතීට රසායනාගාරය පිහිටුවීමත් සමග රෝහල මගින් හෘද රෝගීන් සඳහා ලබාදෙන  ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත්  වනු ඇත.

මෙම අවස්ථාවට වෘත්තීය අධ‌්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ‌‌‌අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට්, ස්විට්සර්ලන්තයේ

හෘද සායනික පදනමේ  මහාචාර්ය ජර්ග් ගුනෙන්ෆෙල්ඩර් ඇතුළු පදනමේ නියෝජිතයින්, ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. ඩී. යූ. එම්. රංග,  යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.