දුර ගමන් සඳහා යොදා ගන්නා බස් රථවල ප්‍රමිතිය සඳහන් වාර්තාව ඉදිරියේදී අනිවාර්ය බවත් ඒ පිළිබඳව විමසීමේ පූර්ණ අයිතිය මගීන් සතු වන බවත් ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.
සභාපතිවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (09) පෙරවරුවේ බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව ඒකාබද්ධව ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් ඩිමෝ (DIMO) ආයතනයේ පූර්ණ දායකත්වය හිමිවිය.
වැඩිදුරටත් අදදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපතිවරයා,
"මෑත කාලයේදී සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන්, බස් රථවල ධාවන දුර්වලතා නිසා මේ ආකාරයෙන් අනතුරු සිදුවන බවට සමාජය තුළ කථිකාවක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව වාර්ෂිකව සිදුකරන පරීක්ෂාවට අමතරව, ධාවනයට ප්‍රථම බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුනා. එහි ප්‍රතිපලයක් හැටියට ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ කමිටුවක් මගින් වාහනයක පරීක්ෂා කළයුතු අංග පිළිබඳව එකඟතාවකට ආවා. ඒ අනුව නිර්මාණය කළ ලයිස්තුව පදනම් කරගෙන තමයි අද මේ පරීක්ෂාව සිදු කරන්නේ. වාර්ෂිකව වාහනයක ලබාගන්නා ප්‍රමිති සහතිකයට අමතරව මාසිකව, සුදුසුකම් ලත් පුද්ගලයෙක් විසින්, සුදුසුකම් ලත් ආයතනයක් මගින් තම වාහන පරීක්ෂා කරගෙන, අදාළ සහතිකය බස් රථය තුළ තබාගැනීම කළ යුතුයි. ඕනැම වේලාවක එම වාර්තාව පරීක්ෂා කිරීමේ අයිතිය බස් රථයේ ගමන් ගන්නා මගීන්ටත් හිමි වෙනවා. අදින් ආරම්භ කෙරෙන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී අනිවාර්ය සාධකයක් ආකාරයෙන් නීතිගත කිරීමට බලාපොරොත්තු වෙනවා "
ඊයේ පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත මගී පර්යන්තයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ බස් රථ කිහිපයක ධාවන තත්ත්වය පරීක්ෂා කිරීම, ඩිමෝ ආයතනයේ තාක්ෂණික ශිල්පීන් විසින් සිදු කරන ලදී. එම අවස්ථාවේදීම අදාළ බස් රථවල ප්‍රමිති සහතිකය නිකුත් කළ අතර ඉදිරියේදී මේ ආකාරයෙන් මසකට වරක් සිය බස් රථ පරීක්ෂා කරගැනීමෙන් අනතුරුව අදාළ සහතිකය බස් රථ තුළ තබා ගතයුතු බවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.
අදින් ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය, ඉදිරියේදී නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන බවත්, මෙය නීතියක් බවට පත්කර නීතිගත කිරීමට පියවර ගන්නා බවත්, ඒ තුළින් වර්තමානයේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය අවම කරගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති චන්ද්‍රපාල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


