කුඩා හා මධ්‍ය පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත “පියැසි පාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ හා අතත්‍ය ශුද්ධ මනුකරණ ව්‍යාපෘතිය” සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට සූර්ය බලශක්තිය ඵලදායී ලෙස භාවිත කිරීම හා විදුලි පද්ධතියට එක් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
2025 නොවැම්බර් 3 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ අනෙකුත් අදාළ ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමට අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදල සමඟ ණය සහ ප්‍රදාන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් කර ඇති අතර, එම එකඟතාවන්ට අනුව පහත මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නියමිතය.
- ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ: ඇමරිකානු ඩොලර් මිලියන 35ක ණය මුදලක්
- යුරෝපා සංගමය වෙතින්: යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක්
- ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදල වෙතින්: ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක්
ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලට අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත්ව මෙම මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය හා ප්‍රදාන ගිවිසුම්වලට එළඹීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීම, සූර්ය බලශක්ති ආයෝජන දිරිගැන්වීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ බලශක්ති නිෂ්පාදකයින්ට නව අවස්ථා නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.


