ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) 50 වන සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) 50 වන සංවත්සරය සැමරේ
  • SocialShare:

මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ පැරණිතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) 50 වන රන් ජුබිලි සංවත්සරය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. "The Legacy of Excellence in Computing" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහභාගී විය.

මෙහිදී "ජාතික ඩිජිටල් සංවර්ධනය සහ ප්‍රතිපත්තිමය දායකත්වය උදෙසා CSSL හි මැදිහත්වීම" යන තේමාව ඔස්සේ ප්‍රධාන දේශනය සිදුකළ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, 1976 වැනි , මෙරට ICT ක්ෂේත්‍රයක් නොතිබූ වකවානුවක දුරදක්නා නුවණින් යුතුව බිහිකළ CSSL ආයතනය, ගතවූ දශක පහක කාලය තුළ මේන්ෆ්රේම් (Mainframe) යුගයේ සිට කෘතිම බුද්ධි (AI) යුගය දක්වා මෙරට තාක්ෂණික වෘත්තිකයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හැඩගැස්වීම වෙනුවෙන් ඉටුකළ සේවය ඇගයීමට ලක් කළේය.

තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, තාක්ෂණය, නීති සම්පාදනයට වඩා වේගයෙන් ඉදිරියට යන බැවින් රජයට ස්වාධීන වෘත්තීය සහ ප්‍රායෝගික උපදෙස් ලබාදීමට CSSL වැනි ආයතන අත්‍යවශ්‍ය බවයි. ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සහ ස්වෛරී AI ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා ගෙන යන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රජයේ ප්‍රතිපත්ති පමණක් ප්‍රමාණවත් නොවන බවත්, තාක්ෂණික හැකියාවන් නිවැරදි ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සහයෝගය අමාත්‍යාංශය වෙත අඛණ්ඩව අවශ්‍ය වන බවත් එතුමා අවධාරණය කළේය.

මෙම උළෙලෙහි දී CSSL ආයතනයේ 50 වැනි සංවත්සර විශේෂ සමරු ග්‍රන්ථය නිල වශයෙන් එළිදැක්වීම සහ CSSL හි නිල ජංගම යෙදවුම (cssl.lk App) දියත් කිරීම ද සිදු විය. තවද, මෙරට පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා අනුපමේය සේවයක් ඉටුකළ ආයතනයේ ආරම්භක සාමාජිකයින් 28 දෙනෙකු සහ හිටපු සභාපතිවරුන් 16 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු විණ.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම්; ප්‍රදීප් සපුතන්ත්රී මහතා , ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, CSSL හි වත්මන් සභාපති හේෂාන් කරුණාරත්න, ලේකම් උදේශ් සෙනෙවිරත්න මහතා ඇතුළු විධායක නිලධාරීන්, CSSL සංගමයේ හිටපු සභාපතිවරු, ආරම්භක සාමාජිකයින් ඇතුළු මෙරට තාක්ෂණික, රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ තාක්ෂණික වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.