සිවිල් ලියාපදිංචිය යනු හුදෙක් මහජන සේවාවක් පමණක් නොව එය යහපත් පාලනයක පදනමක් - රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

සිවිල් ලියාපදිංචිය යනු හුදෙක් මහජන සේවාවක් පමණක් නොව එය යහපත් පාලනයක පදනමක් - රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
  • SocialShare:

සිවිල් ලියාපදිංචිය යනු හුදෙක් මහජන සේවාවක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින (ජූලි 13) කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රෙය්දී ආරම්භ වූ දකුණු ආසියාවේ සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ (CR8) තෙදින කලාපීය රැස්වීමේ සමාරම්භක අවස්ථාවට   සහභාගී වෙමිනි.

දකුණු ආසියාවේ සිවිල් ලියාපදිංචි කිරීමේ සහ වැදගත් සංඛ්‍යාලේඛන (CRVS) පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම තෙදින කලාපීය රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රැවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙසේ අවධාරණය කළේය.  

"ඕනෑම රජයක ප්‍රධානතම වගකීමක් වන්නේ සිවිල් ලියාපදිංචියයි. එමඟින් සෑම පුද්ගලයෙකුටම රජය විසින් පිළිගනු ලබන නීත්‍යානුකූල අනන්‍යතාවයක් හිමිවන අතර, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය සහ මූල්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් ලබා ගැනීමට එය මහෝපකාරී වෙනවා.

ඒ වගේ ම විශ්වාසදායක දත්ත පද්ධතියක් පැවතීම මඟින් රජයකට සැලසුම් සංවර්ධනය, ආපදා ප්‍රතිචාර සහ මහජන සෞඛ්‍යය පිළිබඳ වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා සිවිල් ලියාපදිංචිය යනු හුදෙක් මහජන සේවාවක් පමණක් නොව, එය යහපත් පාලනයක වැදගත් පදනමක් වෙනවා." යැයි අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව මෙම වසරේ මුල් භාගයේදී CRVS ජාලයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු, මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි කලාපීය රැස්වීමකට සත්කාරකත්වය දැක්වීමට ලැබීම රටක් ලෙස විශාල ගෞරවයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාව මේ වන විට UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහයෝගය ඇතිව ක්‍රියාවට නංවන "එක් ලේඛනාගාරයක්" (One Registry) වැඩසටහනට මුලපිරීම හරහා සිවිල් ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කරමින්, එය රටේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමට කැපවී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

2018 වසරේදී පිහිටුවන ලද CR8 ජාලය, දකුණු ආසියානු රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ක්‍රියා කරන ප්‍රධානතම වේදිකාවකි. මෙවර කොළඹ රැස්වීම සඳහා ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සිවිල් ලියාපදිංචි කිරීමේ බලධාරීන්, ජාත්‍යන්තර සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් විශාල පිරිසක් එක්ව සිටිති.

2026 ජූලි 13 සිට 15 දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන අතර, එය ආසියානු හා පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) විසින් UNICEF සහ Vital Strategies ආයතන සමඟ එක්ව සංවිධානය කර ඇත.

මෙම රැස්වීම අවසානයේදී, දකුණු ආසියාවේ සිවිල් ලියාපදිංචි කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග, ප්‍රමුඛතා සහ නිර්දේශ ඇතුළත් විශේෂ සාරාංශ වාර්තාවක් සකස් කිරීමට නියමිතය.  

මෙම අවස්ථාවට  අග්‍රාමාත්‍ය ලේකම්  ජී. පී. සපුතන්ත්‍රි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව්, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන්  යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටිය හ.