“Leadership Training Camp & Workshop 2026” සමාරම්භක වැඩසටහන සාර්ථකව අවසන්

“Leadership Training Camp & Workshop 2026” සමාරම්භක වැඩසටහන සාර්ථකව අවසන්
  • SocialShare:

 “Leadership Training Camp & Workshop 2026” ජාතික නායකත්ව පුහුණු සහ වැඩමුළු මාලාවේ ප්‍රථම අදියරේ කඳවුරේ සමාප්ති උළෙල සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඊයේ (12) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහභාගීත්වයෙන් නාඋල බැහැරගත පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව අවසන් විය.

මෙම වැඩමුළු මාලාව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.

සමාජ හා ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි, විචාරශීලී චින්තනයෙන්, ගැටලු විසඳීමේ හැකියාවෙන් සහ සහකම්පනයෙන් යුතු තරුණ නායකත්වයක් බිහිකිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණ වේ.

ජූලි සිට ඔක්තෝබර් දක්වා දිවයින පුරා පළාත් මට්ටමින් තෙදින නේවාසික කඳවුරු ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක කඳවුර සඳහා තරුණ තරුණියන් 125 දෙනෙකු සහභාගී වූ අතර එයින් 75 දෙනෙකු ජාතික තරුණ සේවා සභාව නියෝජනය කළ අතර ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් යොවුන් ශිෂ්‍යභටයින් 50 දෙනෙකු එක්ව සිටියහ.

පසුගිය 10 වැනිදා ආරම්භ වූ මෙම තෙදින නේවාසික කඳවුර තුළ නායකත්ව කුසලතා සංවර්ධනය, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම, Adventure Based Training (ABT) ක්‍රියාකාරකම්, යෝගා වැඩසටහන් සහ පෞරුෂ සංවර්ධනය අරමුණු කරගත් විශේෂ දේශන රැසක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ අනාගත නායකත්වය භාරගැනීමට හැකි තරුණ පරපුරක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි. අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් සහ රටට අවශ්‍ය නායකයන් බිහිකිරීම වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.

රටේ දේශපාලන සංස්කෘතියේ සිදුවී ඇති වෙනස්කම් හේතුවෙන් ඉදිරි කාලයේදී තරුණ නායක නායිකාවන්ට වැඩි අවස්ථා උදා වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“Leadership Training Camp & Workshop 2026” වැඩසටහන් මාලාවේ මීළඟ අදියර ජූලි 24, 25 සහ 26 යන දිනවල බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල, මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්. එස්. ප්‍රියශාන්ත, ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ චන්දන උයන්ගොඩ යන මහත්වරුන් ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අදාළ පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීහු රැසක් එක්ව සිටියහ.