පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා මෙන්ම පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණෙන් පොසිල අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතු සඳහා ම වෙන් වූ විශේෂිත කෞතුකාගාරයක් ඉදිකිරීමේ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේදී ආරම්භ විය.
පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය යනු වසර මිලියන ගණනක් පැරණි මයෝසීන යුගයට (Miocene Era) අයත් වටිනා ශාක හා සත්ත්ව පොසිල බහුලවම හමුවන සුවිශේෂී කලාපයකි. මෙහි පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් රජය විසින් අරුවක්කාලු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම ආරක්ෂිත පුරාවිද්‍යා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරුවක්කාලු ප්‍රදේශයේ හෙක්ටයාර 6ක භූමි ප්‍රමාණයක් විශේෂ පුරාවිද්‍යාත්මක රක්ෂිතයක් (Archaeological Reservation) ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නව පොසිල කෞතුකාගාර ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉන්සී (Insee) ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී ඉන්සී ආයතනය විසින් රුපියල් මිලියන 25ක පූර්ණ මූල්‍ය දායකත්වය සපයන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහ උපදේශකත්වය සපයන සපයයි. කෞතුකාගාරය ඉදිකිරීමෙන් පසුව එහි නඩත්තු කටයුතු ද මෙම ආයතන දෙකේ ඒකාබද්ධ වගකීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙහිදී ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින මයෝසීන් (Miocene) යුගයට අයත් පොසිල තැන්පතු පිළිබඳව විශේෂ අවධානයක් වී ඇති මෙම කෞතුකාගාරය සහ පොසිල ආරක්ෂිත කලාපය පුරාවිද්‍යාත්මක වටිනාකම ඇති අරුවක්කාලු, සෙරක්කුලිය හා අලිවලා වැනි ගම්මාන කලාපයන් මුල් කරගනිමින් ස්ථාපිත කෙරේ.
මෙම කෞතුකාගාර ඉදිකිරීම තුළින් හුනුගල් කැනීම් සිදුවන මෙම කලාපයේ පාරිසරික හා ඓතිහාසික උරුමයන් සුරැකීමේ සමාජ වගකීම් ඉටු කර ගැනීමටත් කැනීම් කටයුතු වලදී හමුවන පොසිල විනාශ වීමට නොදී, ඒවා අනාගත පරපුරට සහ පර්යේෂකයන්ට අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමවත්ව සංරක්ෂණය කර ප්‍රදර්ශනය කිරීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.


