රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් දෛනික ගමනාගමනයේ දී මුහුණපාන දුෂ්කරතා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදී ඇති බාධාවන් හඳුනාගෙන ඊට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා විශේෂ ව්‍යාපෘතියක් එළඹෙන අඟහරුවාදා එනම් හෙට (14) ආරම්භ කෙරේ.
වත්මන් රජය බලයට පත්වූ විගස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට මෙසේ සංවර්ධනය කළ යුතු ග්‍රාමීය පාලම් පිළිබඳ වාර්තාවක් දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන මට්ටමින් ලබාගන්නා ලදී. ඒ අනුව මෙය සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පාලම් 881ක් තෝරාගන්නා ලද අතර ඒ වෙනුවෙන් මෙම 2026 වසර සඳහා වූ අය වැය මගින් ප්‍රතිපාදන වෙන් කෙරිණි.
මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050ක වියදමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙන අතර එම පාලම්වල ඉදිකිරීම් ආරම්භ කිරීම මේ මස 14, අඟහරුවාදා දිවයින පුරා එම ස්ථානවලදී සිදු කෙරේ.
ඒ යටතේ ප්‍රධාන සමාරම්භක උත්සවයන් දිවිත්වය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහත්මාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදීත් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේදීත් පැවැත්වේ.
මීට අමතරව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමත් ජන ජීවිතය නගා සිටුවීමත් ඉලක්ක කරගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ මෙම වසරේ තවත් ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරියේ දී ආරම්භ වීමට නියමිතය.


