මෙරට ප්‍රමුඛතම සහ ඉහළම පෙළේ දේශීය පාපන්දු තරගාවලිය වන 'සුපර් ලීග්' (Super League) පාපන්දු තරගාවලිය වසර තුනකට පසු ඊයේ (11දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පැවැති මෙම සමාරම්භක උළෙල, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ක්‍රීඩාංගණය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආරාධිත අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.
මෙවර තරගාවලිය මෙරට ප්‍රමුඛතම වෘත්තීය පාපන්දු සමාජ 10කගේ සහභාගීත්වයෙන් සති 9ක් පුරා සුගතදාස ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. මෙය එළඹෙන නොවැම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත සාෆ් (SAFF) කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ට ඉතා වටිනා පුහුණු වේදිකාවක් වනු ඇත.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව පැවැති තරගාවලියේ පළමු තරගය ලෙස 'නිව් යංග්ස්' ක්‍රීඩා සමාජය (Wennappuwa New Youngs FC) සහ 'බ්ලූ ඊගල්ස්' ක්‍රීඩා සමාජය (Katunayake Blue Eagles SC) අතර තරගය පැවැත්විය. දෙපිලම කරට කර සටනකින් පසු, මෙම උණුසුම් තරගය අවසානයේ දී ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත්වූ අතර, කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගනිමින් සිය සුපර් ලීග් ගමන ආරම්භ කළහ.


