ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
  • SocialShare:
ශාරීරික සීමාවන් තම අධ්යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්රී ලංකාවේ රාජ්ය විශ්වවිද්යාලවල අධ්යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

 

මෙම වැඩසටහන යටතේ දැනට ශ්රී ලංකාවේ රාජ්ය විශ්වවිද්යාලවල අධ්යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කරයි.
"සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්යාල සිසුන් 236 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්යාව 400කට ආසන්න වේ. කොළඹට පැමිණීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
මේ අතර අද දින ශිෂ්යාධාර පිරිනැමීමේදී ප්රතිලාභී සිසුන් අසළට ගොස් ශිෂ්යාධාර පිරිනැමීම විශේෂත්වයක් විය.
ජනාධිපති අරමුදල මඟින් ක්රියාත්මක කෙරෙන "සරසවි දිරියෝ අභිමන්" වැඩසටහන, ආබාධ සහිත සිසුන්ගේ කැපවීම, හැකියාව සහ අධ්යාපන ජයග්රහණයට ජාතික ඇගයීමක් ලබාදෙන අතර, කිසිදු ශාරීරික සීමාවක් අධ්යාපන සිහිනවලට බාධාවක් නොවිය යුතු බවට රජය දරන ස්ථාවරය යළිත් තහවුරු කරන සුවිශේෂී සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහනකි.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතුයි යන පදනමේ සිට වත්මන් රජය රාජ්ය ප්රතිපත්ති සකස් කරමින් සිටින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
අද දවස අපේ රටේ ඉතිහාසයේ විශේෂයෙන්ම ජනාධිපති අරමුදලේ ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයක්. ගත වූ වසර එකහමාරක කාලය ඇතුළත ගත් තවත් සුවිශේෂී පියවරක් අද ක්රියාත්මක වෙනවා. ජනතාවාදී ජනාධිපති අරමුදලක් ඇති කිරීමේ ප්රයත්නයේ තවත් සාර්ථක පියවරක් තැබූ දවසක් බව කිව යුතුයි. අප රටේ විශ්වවිද්යාල අධ්යාපනය ලැබීම ලේසි නැහැ. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ලක්ෂ ගණනක් දරුවන් උසස් පෙළ සමත් වුණාට විශ්වවිද්යාලවලට ඇතුළත් වන්නේ ඊට සාපේක්ෂව ඉතා සුළු පිරිසක්. අද මෙහි සිටින්නේ විශ්වවිද්යාල අධ්යාපනය ලබන ඉතාම ධෛර්යයවන්ත සහ අධිෂ්ඨානශීලී පුරවැසියන් පිරිසක්. ඔබ අභියෝග ගණනාවක් ජයගෙන, දිනපතා ඒ අභියෝගවලට මුහුණ දෙමින් තමයි මෙතැනට පැමිණ තිබෙන්නේ. ඔබට යම් ඇගයීමක් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඔබ ඇත්තටම සමාජයට, රටටම ආදර්ශයක්. ඔබේ ධෛර්යයට අපි ගරු කරනවා.
ආබාධ සහිත ප්රජාව සමාජයේ කොටසක්. සමාජයේ සියලුම දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් අයිතියි කියන පදනමේ සිටගෙන අපේ රජය ප්රතිපත්ති සකස් කරමින් සිටිනවා. සියලු පුළුල් පරාසයන් දෙස බලා මේ විවිධත්වයන් අපේ අධ්යාපන පද්ධතිය තුළ පිළිගන්නවා කියන පණිවිඩය අපි දිය යුතුයි. ඒ විවිධත්වයන් තුළින් ‌ඉගෙන ගෙන ඉහළටම යන්න පුළුවන් කියන විශ්වාසය සමාජය තුළ ගොඩනැඟිය යුතුයි.
විශ්වවිද්යාල පද්ධතියට ආබාධ සහිත දරුවන් ඇතුළත් කර ගත්තේ විශාල සටනකින් පසුවයි. දැන් ශිෂ්යන්ට ඕනෑම විෂයක් හැදෑරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ අයිතිය ලබා ගැනීමට පැමිණෙන ශිෂ්ය ශිෂ්යාවන්ට බාධාවකින් තොරව අධ්යාපන කටයුතු සිදු කරගෙන යෑමට අවශ්ය වටපිටාවව සකස් කිරීම අප සියලු දෙනාගේ වගකීමක්.
සෑම විශ්වවිද්යාලයකම ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ ඒකක තිබිය යුතුයි. අධ්යාපනය ඩිජිටල්කරණ කාර්යසාධක බළකාය මේ පිළිබදව අධ්යයනය කළ යුතුයි. මේ සම්බන්ධව නියමු ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. සියලුම විවිධත්වයන් පිළිගන්න පුළුවන් විශ්වවිද්යාල බිහි කිරීමේ වගකීම තිබෙනවා. මෙය අත්හැරි නොහැකි වගකීමක්.
සමාජයේ කොටසක් මගහැර දියුණු සමාජයක් ගොඩනගන්න බැහැ. දිවයිනේ බහුතරයක් විශ්වවිද්යාලවල අධ්යාපනය ලබන, විශේෂ අවශ්යතා සහිත සිසු දරු දැරියන් 236 දෙනෙකු පළමු අදියර යටතේ අද ඇගයීමට පාත්රවෙනවා. ඔබ වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 23.6 ක ප්රතිපාදන ලබා දෙමින් සිදු කරන මේ මහඟු කාර්යය රජය වෙනුවෙන් මම අගය කරනවා. ඔබ සමග දෙමාපියන්ටත් මම ගෞරවයක් පුද කරන්න කැමතියි. ඔබ වෙනුවෙන් ඔවුන් විශාල සටනක් කර තිබෙනවා. ඔබේ දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමට ඔබ දිවා රෑ නොබලා මහන්සි වූ බව අපි දන්නවා.
ඔබ ලබන උසස් අධ්යාපනය රටේ තිරසර සංවර්ධනයට දායක කරගත හැකි පරිදි අවස්ථා නිර්මාණය කර ගැනීමටත්, ඒ සදහා අවශ්ය වෘත්තීය මඟපෙන්වීම ලබා දීමටත් රජයක් ලෙස අපි උපරිමයෙන් ක්රියා කරනවා. ඔබ රටට බරක් නෙමෙයි. ඔබ රටට වටිනා මානව සම්පතක්. ඔබ මේ සමාජයේ කොටස්කරුවන්. ඔබ තුළ තිබෙන සිහින සැබෑ වේවා කියා මම ප්රාර්ථනා කරනවා.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා
2028 වසර වන විට ජනාධිපති අරමුදලට වසර 50ක් සම්පූර්ණ වෙනවා. ආබාධ සහිත උසස් අධ්යාපනය ලබන දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මෙවැනි වැඩසටහනක් ක්රියාත්මක වන්නේ ජනාධිපති අරමුදලට අඩසිය වසක් සැපිරීමට වසර දෙකක් තිබියදීයි. මේ ආධාරය ඔබට ලබා දීමේ සාකච්ඡාව පැවැත්වෙන විට ඇත්තටම හැමෝම සතුටු වුණා.
ජනාධිපති අරමුදලට අරමුදල් ලැබෙන ප්රධාන මාර්ගයක් වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බැර වීමයි. මේ ලබා දෙන මුදලට රටේ සියලුම ජනතාව දායකත්වය ලබා දෙනවා. ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් වුණේ වසර 48කට පසුවයි. වත්මන් රජය ජනාධිපති අරමුදලේ සියලුම කටයුතු මධ්යගත කරනවා වෙනුවට විමධ්යගත කිරීමට කටයුතු කළා. මේ තරම් කාර්යක්ෂම සේවාවක් අද ජනාධිපති අරමුදල මගින් සිදුවීම ගැන අපට සිතාගත නොහැකියි.
ජනතාවගේ දෙපතුළ ළගට අද ජනාධිපති අරමුදල ගෙනිහින් තිබෙනවා. මේ වන විට ජනාධිපති අරමුදල මඟින් රෝගීන්, සිසුන් ආදී නොයෙක් අවශ්යතා සහිත සහ හඳුනාගත් පවුල් වෙනුවෙන් ආධාර ලබා දීමට කටයුතු කරමින් තිබෙනවා. 2025 වසරට පමණක් රුපියල් බිලියන 4.46ක් අධ්යාපනයට වෙන් කර තිබෙනවා. අධ්යාපනයේ නැවුම් පෙරළියක්, වෙනසක් නිර්මාණය වෙමින් තිබෙනවා. සමාජ ප්රතිලාභ, අධ්යාපන ප්රතිලාභ සියලුම දෙනාටම සමානව ලබා දෙනවාට සමගාමීව කුමන හේතුවක් මතවත් ඔබව අත්හරින්නේ නැහැ. අද ජනතාවගේ හදවතට සමීප අරමුදලක් බවට ජනාධිපති අරමුදල පත්ව තිබෙනවා. ජනාධිපති අරමුදල සැබවින්ම ජනතාවගේ අරමුදලක්. මීට පෙර පැවති සැකය අද තබා ගන්න එපා. අද ජනාධිපති අරමුදල ජනතාවගේ සුබසිද්ධිය සහ අනාගතය නිර්මාණය කිරීමේ අරමුදලක් බවට පත් කර තිබෙන බව පැවසිය යුතුයි.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් අමාත්
ආචාර්ය උපාලි පන්නිලගේ මහතා
ජනාධිපති අරමුදල ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මේ තැබූ පියවර අපි රජයක් විදිහට ඉතාමත් ඉහළින් අගය කරනු ලබනවා. අපේ රටේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබදව අපි කෙතරම් උත්සාහ කළත් සමාජයේ තිබෙන ආකල්ප වෙනස් කිරීම දිගුකාලීන ක්රියාවලියක්. මේ ක්රියාවලිය සඳහා නිරන්තර උත්සාහයක අපි නිරත වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම සමාජයේ ආබාධ සහිත පුද්ගලයන්ට හිමි විය යුතු ගෞරවණීය ස්ථානය දිනා දීමට රජයක් විදිහට අපි කැපවී සිටිනවා.
ගෞරවණීය සමාජයීය ජීවිතයක් ඔබට උරුම කර දීමයි අපේ ඒකානයක පරමාර්ථය. පොදුවේ ගත් කළ අන්තර්ජාතික සම්මුතින්ට අනුගත වෙමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කර දීමේ පනතක් සකස් කර ඉතා කෙටි කාලයකින් සම්මත කර ගැනිමට අප සූදානමින් සිටිනවා. දහස් ගණනක් වන ශ්රව්යාබාධිතයන් වෙනුවෙන් සංඥා භාෂාව සදහා වෙනම පනතක් සකස් කර මේ වන විට එය අවසන් කර නීතිගත කිරීමට අවශ්ය පියවර ගනිමින් සිටිනවා. අපේ රටේ අනිකුත් සිංහල, ඉංග්රීසි සහ දෙමළ භාෂා වගේම සංඥා භාෂාවත් නීතිගත කිරීමට කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා
අද දවස සුවිශේෂ දවසක්. ආබාධ සහිත තැනැත්තෙක් වුණාම පැති දෙකකින් විශාල අරගලයක් කිරීමට සිදු වෙනවා. එක පැත්තකින් තමන්ගේ ආබාධිත බවට එරෙහිව වගේම අනෙක් පැත්තෙන් ආබාධ සහිත බවට පත් කරන සමාජ, ආර්ථික, දේශපාලන හා භෞතික කරුණු සමග අරගල කිරීමට සිදු වෙනවා.
මේ අරගලයේ නිරත වීම දුෂ්කරයි, අභියෝගාත්මකයි. ඒ අභියෝගය ජය ගන්න නම් තමන් තුළ නොසැළෙන ධෛර්යයක්, අධිෂ්ඨානයක් තිබිය යුතුයි. මේ ධෛර්යය තිබෙන කණ්ඩායමක් තමයි ඔබ. ජනාධිපති අරමුදල විසින් පිරිනමන ත්යාගය ඔවුන්ගේ ආබාධිත බව නිසා නෙමෙයි. ඔවුන් මේ සමස්ත සමාජයටම ජීවිතය ජය ගන්නවා කියන කාරණය සම්බන්ධ අභිප්රේරණයක් සපයා තිබෙනවා. මේ විද්යාර්ථීන් අභිප්රේරණය, අධිෂ්ඨානයේ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා. මේක සමාජයීය ආයෝජනයක්. ප්රදීපාගාරවලින් සපයන ආලෝකයට කරන ආයෝජනයක් තමයි ජනාධිපති අරමුදල මගින් අද මේ සිදුකර තිබෙන්නේ.
ජනාධිපති අරමුදල කඩිනමින් ප්රජාතාන්ත්රිකකරණය කරමින් ජනතාවගේ සමීපයට ගෙනැවිත් තිබෙනවා. සමාජයේ විවිධ තරාතිරම් සහ විවිධ කුලකයන් ආමන්ත්රණ කිරීමට ජනාධිපති අරමුදල පොහොසත් වුණා. ජාතියට අභිප්රේරණය සපයන ආබාධ සහිත පුද්ගලයන් ආමන්ත්රණය කළේ ඒ නිසයි. මේ සෑම රුපියලකම තිබෙන්නේ සමස්ත ජනතාවගේ මහන්සියයි. ජනාධිපති අරමුදලෙන් ඔබට ලැබෙන ප්රතිලාභය තුළින් ඔබ තව තවත් අධිෂ්ඨානශීලි විය යුතුයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අපි ජනාධිපති අරමුදල භාර ගන්නා විට එහි භාවිතාව පිළිබඳ සතුටුවීමට පුළුවන්කමක් තිබුණේ නැහැ.
මෙහි ලාභ ප්රයෝජන ලබා ගත්තේ ඉතා සුළු පිරිසක් පමණයි. විනිවිදභාවයක් තිබුණේ නැහැ. අපිට අවශ්ය වුණේ ජනාධිපති අරමුදල විනිවිදභාවයකින් යුතුව හැසිරවීමටයි. එහි මූලික පියවර ලෙස ජනාධිපති අරමුදල ඩිජිටල්කරණය කිරීමට පියවර ගත්තා. ඒ මගින් ජනාධිපති අරමුදලේ සේවය දීපව්යාප්තව ක්රියාත්මක කළා. අරමුදලේ සේවය දැන් ගමට ගිහින් තිබෙනවා. කොළඹටම එන්න අවශ්යතාවයක් නැහැ. ඔබේ අවශ්යතාවය අද ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් පහසුවෙන් ලබා ගන්න පුළුවන් තත්ත්වය නිර්මාණය කර තිබෙනවා. එහි ප්රතිඵලයක් විදිහට 2024 වසරට සාපේක්ෂව ප්රතිලාභ ලබා දීම 2025 වසරේදී 59%කින් වර්ධනය කර ගැනීමට පුළුවන්කම ලැබුණා.
ජනාධිපති අරමුදල අද වන වට පරිවර්තනයකට භාජනය කර තිබෙනවා. වෛද්යාධාර, අඩු ආදායම්ලාභී පවුල්වලට දීමනා ලබා දීම වැනි දේවල් කරනවා. ජනාධිපති අරමුදල මගින් අද අධ්යාපනය ලබන දරුවන්ට වැඩිපුර ශිෂ්යත්ව ලබා දෙනවා.
මහපොළ ශිෂ්යත්ව ආධාර ලබා දීමට ජනාධිපති අරමුදල විශාල දායකත්වයක් ලබා දෙනවා. ඊට එහා ගිහින් අපි වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම ඉහළ ප්රතිඵල ලබාගත් සිසුන් දස දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලබා දුන්නා. ජනාධිපති අරමුදලට විශාල දායකත්වයක් ලබා දෙන ලොතරැයි අළෙවි කරන පවුල්වල දරුවන්ටත් ආධාර ලබා දෙනවා.
ඒ ආදී නොයෙක් ආකාරයෙන් ආධාර ලබා දෙමින් තිබෙනවා. ඊට සමගාමීව අද මේ සිදු කරනු ලබන්නේ ආබාධ සහිත විශ්වවිද්යාල සිසුන්ගේ අධ්යාපන කටයුතුවලට දිරිගැන්වීමක් විදිහට ජනාධිපති අරමුදල මගින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ වැඩසටහනයි.
අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයන් වන සරත් චන්ද්රසිරි මායාදුන්නේ, මහාචාර්ය ජේ. ආර්. පී. ජයකොඩි, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුද, විශ්වවිද්යාලවල උපකුලපතිවරු, ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික සභාවේ සාමාජික සාමාජිකාවන්, ආබාධිත ප්රජාව සම්බන්ධ ප්රතිපත්ති කමිටුවේ සාමාජික සාමාජිකාවන්, රාජ්ය නිලධාරීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.