‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවෙන් සක්‍රීය දායකත්වය

 ‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවෙන් සක්‍රීය දායකත්වය
  • SocialShare:

“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” (Towards a Dengue-Free Colombo) යන තේමාව යටතේ, ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව ඊයේ  (10) හයවන දිනටත්  නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන, ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කිරීම සහ ජනතාව අතර සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැට පහක (65) පිරිසක් මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව මෝදර, බොරැල්ල, කෝට්ටේ, පිටකොට්ටේ, පානදුර, මහර සහ වත්තල යන ප්‍රදේශයන්හි ස්ථාන හැට එකක් (61) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන එක්දහස් හයසිය හැත්තෑ එකක් (1,671) හදුනාගන්නා ලදි. තවද, ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අසු දෙකක් (82) මෙම පුළුල් ඩෙංගු මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලදි.

තවද මෙම ඩෙංගු මර්දන වැඩසටහන් තුළින් පරිසරය විධිමත්ව පරීක්‍ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, ඊට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මඟින්ද නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයන් බවට පත්කර ගැනීම සඳහා අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කර ඇත.