නව නාවික හමුදාධිපති අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබයි

නව නාවික හමුදාධිපති අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබයි
  • SocialShare:

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපති ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (10) මහනුවරදී ආගමික වතාවත්වල නිරත වෙමින් මල්වතු සහ අස්ගිරි මහා විහාර දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී. 

මෙහිදී ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට ගිය නාවික හමුදාධිපති, මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කළ අතර, උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ පිළිගැනීමෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය නාවික හමුදාධිපති, ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ආශිර්වාද ලබා ගත්තේය.

පසුව, අස්ගිරි මහා විහාරය වෙත පැමිණි නාවික හමුදාධිපති, අස්ගිරි පාර්ශවයේ රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිගෞරවාර්‍හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කළේය. එහිදී උන්වහන්සේ නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අනුශාසනා පවත්වමින් ආශිර්වාද පිරිනැමූහ.

මෙම අවස්ථාවට නාවික ලේකම් සහ නාවික හමුදාධිපතිගේ ලේකම් කොමදෝරු කුමාර මුණසිංහ, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් හේමන්ත රණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.