ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Wallet ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Wallet  ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේ
  • SocialShare:

 ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින් ලංකා බැංකුව (BOC) සිය නවතම ‘BOC Flex Tap & Pay’ සේවාව කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී පසු ගියදා (9) ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය  (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  නිල වශයෙන් දියත්  කරන ලදී.

 මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් රටාවක් රට තුළ ප්‍රචලිත කිරීමේ ජාතික අරමුණ පෙරදැරි කරගෙන, මාස්ටර්කාඩ් (Mastercard) ආයතනය සමඟ එක්ව ලංකා බැංකුව මෙම නවතම තාක්ෂණය මෙරටට හඳුන්වා දී ඇත.

මෙම නව ‘Tap & Pay’ පහසුකම නිසා කාඩ්පත්  භාවිතයෙන් තොරව, තමන්ගේ ජංගම දුරකථනය වෙළඳසැල්වල ඇති POS මැෂිමක ස්පර්ශ කිරීමෙන් (Tap කිරීමෙන්) පමණක් ඉතා වේගයෙන් සහ ආරක්ෂිතව එදිනෙදා බිල්පත් ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබේ.

ජංගම දුරකථනයෙන්ම මිනිත්තු කිහිපයකින් සකස් කරගත හැකි අතථ්‍ය කාඩ්පත් (Virtual Cards) කළමනාකරණය සහ ඕනෑම වෙලාවක කාඩ්පතේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව නැවැත්වීමේ (Suspend) විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන් ද මේ සඳහා ඇතුළත් කර ඇත. 

මෙම අවස්ථාවට සහභාගී වෙමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය බැංකු පද්ධතිය තුළ මෙවැනි නවෝත්පාදනයන් සිදු කිරීම සමස්ත ඩිජිටල් ආර්ථිකයේම ප්‍රගතියට ඉවහල් වන බවයි. ජාතික ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) සහ ගෙවීම් පද්ධතිවල අන්තර්-ක්‍රියාකාරිත්වය (Interoperability) ශක්තිමත් කරමින්, මෙම ‘BOC Flex Tap & Pay’ තාක්ෂණය ග්‍රාමීය ව්‍යවසායකයා සහ කුඩා ව්‍යවසායන් දක්වාම සාර්ථකව ව්‍යාප්ත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය උපරිම සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

  මෙහි සුවිශේෂී සහ සංකේතාත්මක අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා විසින් ‘BOC Flex Tap & Pay’ තාක්ෂණය භාවිතයෙන් දිවයිනේ ප්‍රථම ජංගම දුරකථන ස්පර්ශක ගෙවීම් ගනුදෙනුව (First Tap) සාර්ථකව සිදු කළ අතර ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික මූල්‍ය ජීවිතය වඩාත් සරල සහ වේගවත් කරවන නව යුගයක ආරම්භය එමඟින් නිල වශයෙන් සනිටුහන් විය.

  මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, වැඩබලන ප්‍රධාන ඩිජිටල් හා නවෝත්පාදන නිලධාරී සමන් කේ. වික්‍රමසිංහ මහතා මෙන්ම මාස්ටර්කාඩ් ආයතනයේ බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන කලාපීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා සහ ශ්‍රී ලංකා ප්‍රධානී මහේෂා අමරසූරිය මහත්මිය ද සහභාගී වූහ. තවද, වෘත්තීය සමිති නියෝජිතයින්, ලංකා බැංකුවේ සම්භාවනීය පාරිභෝගිකයින්, සහයෝගිතා හවුල්කරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ