යල කන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 16,000ක් – සඳුදා සිට දිස්ත්‍රික්ක 17ක ගබඩා 143ක් විවෘතයි

 යල කන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 16,000ක් – සඳුදා සිට දිස්ත්‍රික්ක 17ක ගබඩා 143ක් විවෘතයි
  • SocialShare:

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක මුදලක් වෙන් කර ඇති බවත්, රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක් සහ ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික අංශයෙන් වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇති බවත්   වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.ඒ අනුව එළඹෙන සඳුදා(13)  සිට දිවයින පුරා දිස්ත්‍රික්ක 17ක පිහිටි ගබඩා 143ක් වී මිලදී ගැනීම සඳහා විවෘත කරන බවද ඒ මහතා පැවසීය.

අද(10)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

2026 යල කන්නයේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙන අතර, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී ගැනීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය. එම මිලටම පෞද්ගලික අංශයද වී මිලදී ගැනීමට කටයුතු කරන බවත්, මෙම වැඩසටහන යටතේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න වී ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

රජයේ ගබඩාවලට අමතරව පෞද්ගලික ගබඩාවලද වී මිලදී ගන්නා අතර ජංගම වී මිලදී ගැනීමේ සේවාවද ක්‍රියාත්මක කරන බව ඒ් මහතා පැවසීය. මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධ වන අතර, නියමිත ප්‍රමිතියට අනුකූල වී තොග ගබඩාවලට ලබා දෙන්නැයි ගොවි ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම මාධ්‍ය හමුවට එක් වූ  ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේ,

වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් පමණක් 2026 යල කන්නයේ වී වගාව සහ ගොවි ජනතාවගේ සුබසාධනය සඳහා රුපියල් මිලියන 46,006ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. එම මුදලින් රුපියල් මිලියන 6,000ක් රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහාත්, රුපියල් මිලියන 10,000ක් පෞද්ගලික අංශයේ වී මිලදී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයටත්, රුපියල් මිලියන 8,886ක් වගා හානි වූ වී ගොවීන්ට වන්දි ගෙවීමටත් ලබා දී තිබේ.ඊට අමතරව රුපියල් මිලියන 5,788ක් හානි වූ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණයටත්, රුපියල් මිලියන 13,492ක් හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමටත්, රුපියල් මිලියන 1,840ක් පොහොර මිල අඩු කර සැපයීම සඳහාත් වෙන් කර ඇති අතර, මෙම ප්‍රතිපාදනවල එකතුව රුපියල් මිලියන 46,006ක් පමණ වන බව වැඩිදුරටත්සඳහන් කළේය.