2026 යල කන්නයේ වී මිලදී ගැනීම ජූලි 13 වැනි සඳුදා සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2026 යල කන්නයේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමිනි.
බොහෝ ප්‍රදේශවල මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බවත් වැඩිම අස්වනු නෙළන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් වී ගබඩා විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා මඟින් වී මිලදී ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම, ගබඩා ධාරිතාව සම්පූර්ණ වුවහොත් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා භාවිතයට ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වා ඇති බවත් ඇතැම් වී මෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා නොමිලේ ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙවර රජයේ සහතික මිල යටතේ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට මිලදී ගන්නා බව ද සභාපතිවරයා පැවසීය. එම වී තොග රජයේ ස්වාරක්ෂක වී සංචිතය සඳහා එක් කිරීමට නියමිත බවද පැවසුවේය.
උතුරු, නැගෙනහිර, අම්පාර, මුලතිව් සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක මේ වනවිට වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් වෙන්කර ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරන බවත් හෙතෙම පැවසීය.
තවද, සුළු හා මධ්‍ය පරිමාණ වී මිලදී ගන්නන්ට ද රජය නියම කර ඇති මෙම සහතික මිලට අනුව වී මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද සභාපතිවරයා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය ප්‍රමිතිගත වී පමණක් මිලදී ගන්නා බව සභාපතිවරයා අවධාරණය කළේය.
තවද , වීවල තෙතමනය 14%ක් හෝ ඊට අඩු විය යුතු අතර බොල් ප්‍රතිශතය 9%ට වඩා අඩු විය යුතු බවත් වීවල වර්ණය සහ ගුණාත්මකභාවය ද පරීක්ෂා කර මිලදී ගැනීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


