ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින හරිත සංවර්ධන වැඩසටහන් සහ පරිසර සංරක්ෂණ ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ප්‍රශංසාවක් හිමි වූ බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 9 වන පරිසර හා සංවර්ධනය පිළිබඳ සැසියට සහභාගී වීමෙන් මෙරටට හිමි වූ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැවති ඉහළ පෙළේ සමුළු තුනකට සහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බවත් එහිදී පැරිස් ගිවිසුම සහ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UNDESA) සංවිධානය කළ 7 වන ගෝලීය තිරසර සංවර්ධන (SDG) සමුළුවේදී ශ්‍රී ලංකාවේ නව ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්ව සැලැස්ම (NDC 3.0 : 2026–2035) ඉදිරිපත් කළ බවද හෙතෙම පැවසීය.
එහිදී , 2030 වන විට සියයට 70ක පුනර්ජනනීය විදුලිබල ඉලක්කය ප්‍රවාහන ක්ෂේත්‍රය විද්‍යුත්කරණය කිරීම සහ දේශගුණයට ඔරොත්තු දෙන බුද්ධිමත් කෘෂිකර්මාන්තය ඇතුළු හරිත ප්‍රතිපත්ති ජාත්‍යන්තර අවධානයට ලක්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
UNESCAP සංවිධානය කළ පරිසර හා සංවර්ධනය පිළිබඳ කමිටුවේ 9 වන සැසිය සහ නිල් කාබන් මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයට සහභාගී වූ අවස්ථාවේදී, වායු ගුණාත්මකභාවය නිරීක්ෂණය සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා පැවැති බවද හෙතෙම පැවසීය.
කඩොලාන හා වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය කරමින් "නිල් ආර්ථිකයක්" (Blue Economy) සහ කාබන් වෙළෙඳපොළක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳවද එහිදී අවධානය යොමු වූ බව හෙතෙම සඳහන් කළේය.
UNEP ආසියා-පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරිය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික සාක්ෂරතා දර්ශකය, තරුණ නායකත්ව වැඩසටහන් සහ ප්ලාස්ටික් දූෂණය පාලනය සඳහා අවශ්‍ය උපායමාර්ගික සහාය ලබාගැනීම පිළිබඳ එකඟතාවන්ට එළඹුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙරට තරුණ ප්‍රජාව පාරිසරික වැඩසටහන් සඳහා සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ ජාතික වැඩපිළිවෙළට පරිසර අමාත්‍යාංශය ලබාදෙන දායකත්වය ද ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) ආසියා-පැසිෆික් කලාපයේ ඉහළ ප්‍රශංසාව හිමි වූ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය හරහා දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික අභියෝග ජාත්‍යන්තරය හමුවේ ඉදිරිපත් කිරීමට මෙන්ම මෙරට දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් තහවුරු කර ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
එමෙන්ම හරිත ආයෝජන සහ දේශගුණික මූල්‍යකරණ (Climate Financing) අවස්ථා ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම GEF-9 ව්‍යාපෘති යටතේ වායු දූෂණය හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාගැනීම සහ මෙරට තරුණ පරපුරේ පාරිසරික නායකත්වය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා මෙම සංචාරය වැදගත් පියවරක් වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


