"Ceylon Tea Villages" තේ ගම්මාන 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන ජූලි 15 දා ඇරඹේ

"Ceylon Tea Villages" තේ ගම්මාන 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන ජූලි 15 දා ඇරඹේ
  • SocialShare:

තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන "Ceylon Tea Villages" තේ ගම්මාන 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි 15 වැනිදා පෙරවරු 9.00ට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හල්ගොල්ල ග්‍රාමයේ හපුගස්තලාව වැව ආසන්න ප්‍රදේශයේදී පැවැත්වෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එදිනම දිවයිනේ තේ වගාව සිදුකරන දිස්ත්‍රික්ක 14ක මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය. කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, දලු අස්වැන්න හා ආදායම ඉහළ නැංවීම මෙන්ම ඔවුන්ගේ සමාජීය තත්ත්වය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

තේ ගම්මාන 500 අදියර කිහිපයක් යටතේ ස්ථාපිත කරන අතර, 2026 වසරේ ගම්මාන 144ක්, 2027 වසරේ ගම්මාන 150ක්, 2028 වසරේ ගම්මාන 150ක් සහ 2029 වසරේ ගම්මාන 56ක් ආරම්භ කිරීමෙන් 2029 අවසන් වන විට ගම්මාන 500ම ස්ථාපිත කිරීම ඉලක්ක කර ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය.

මෙම වැඩසටහන යටතේ කුඩා තේ වතු හිමියන්ට අඩු පොලී ණය පහසුකම්, නැවත වගා හා පාළු සිටුවීම් සඳහා මූල්‍ය සහාය, ප්‍රමිතිගත නව ප්‍රභේදයේ තේ පැළ ලබාදීම සහ ගම්මාන ආශ්‍රිතව පැළ තවාන් ස්ථාපිත කිරීම සිදු කරන බවද ඔහු පැවසිය.

මෙම වැඩසටහන යටතේ නැවත වගා කිරීම හා පාළු සිටුවීම් වේගවත් කිරීම, පුනර්ජනනීය කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හඳුන්වාදීම සහ තේ අස්වැන්නේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේන බවද අමාත්‍යවරයා පැවසිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්තයක් වන තේ කර්මාන්තයෙන් නිෂ්පාදනය වන තේවලින් 95%ක් පමණ අපනයනය කරන බවත් කුඩා තේ වතු හිමියන් රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 75%කට දායක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කුඩා තේ වතු ආශ්‍රිතව පවුල් හාරලක්ෂ දහඅටදහසකට අධික සංඛ්‍යාවක් ජීවනෝපාය සලසාගෙන සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

2030 වන විට රටේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කයට සමගාමීව තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීම සහ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

තවද තේ වගාවට අමතරව තේ ආශ්‍රිත නව කර්මාන්ත සංවර්ධනය කිරීම, අත්කම් තේ නිෂ්පාදන හඳුන්වාදීම, නව තාක්ෂණය හඳුන්වාදීම සහ ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ තේ පර්යේෂණ ආයතනය එක්ව කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් තේ ගොවීන් සඳහා රක්ෂණ ක්‍රමයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමටද සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.