මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් තාවකාලික පදනමෙන් " මහමෝදර" සහ " පැරණි බෝගම්බර" පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම මස 5සහ 6 දෙදින තුළ මීගමුවව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚එය අපරාධ ස්ථානයක් බවට ද සැලකේ. එහෙයින් එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇත.
විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර තිබේ.
එසේම‚ දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත.
එබැවින් මෙම තීරණය ගෙන ඇති බව අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.


