ආචාර්ය සිරී වෝල්ට් මහත්මියට අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සුබ පැතුම්

ආචාර්ය සිරී වෝල්ට් මහත්මියට අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සුබ පැතුම්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ශ්‍රී ලංකා–ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති මෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

වසර දෙකක සිය ධුර කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට නියමිත තානාපතිතුමිය හමු වූ අමාත්‍යවරයා, දශක හතකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇය සිය ධුර කාලය තුළ ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කරමින් සිය ප්‍රශංසාව පළ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහාත්, අක්‍රීයව පැවති ශ්‍රී ලංකා–ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය නැවත ආරම්භ කර එමඟින් දෙරට අතර දේශපාලනික සබඳතා ශක්තිමත් කිරීම සහ අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම වෙනුවෙන් තානාපතිතුමිය ලබාදුන් සහයෝගය ද අමාත්‍යවරයාගේ ඉහළ ඇගයීමට ලක්විය.

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජය ලබාදෙන සහයෝගය මෙන්ම, දිට්වා සුළි කුණාටුව වැනි ස්වාභාවික විපත් අවස්ථාවන්හිදී සහ මැදපෙරදිග යුදමය වාතාවරණය වැනි ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජනජීවිතයට ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා මිත්‍ර රාජ්‍යයක් ලෙස ස්විට්සර්ලන්තය ලබාදුන් සහයෝගය ද අමාත්‍යවරයා සිහිපත් කළේය. එහිදී ආචාර්ය සිරී වෝල්ට් මහත්මියට සිය සුබාශිංසන ද එක් කළේය.

සිය ධුර කාලය තුළ රාජකාරි කටයුතු සාර්ථකව ඉටු කරගෙන යෑම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාට මෙන්ම ජාතික ජන බලවේග රජයට ද තානාපතිතුමිය සිය කෘතඥතාව පළ කළාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක තම සහයෝගය ලබාදීමට සූදානම් බව ද එතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.