ඩෙංගු මදුරු මර්දනය සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට නාවික හමුදා අඛණ්ඩ සහය

ඩෙංගු මදුරු මර්දනය සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට නාවික හමුදා අඛණ්ඩ සහය
  • SocialShare:

ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහන් මාලාව අද (08) සාර්ථකව සිව්වැනි දිනටත් ක්‍රියාත්මක කිරීම සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.  "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo)යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය විසින් මෙම ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පනහකට (50) අධික පිරිසක් මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අවට, රාජගිරිය, මහර, වත්තල, බොරැල්ල, කෝට්ටේ, වැලිසර සහ පානදුර යන ප්‍රදේශයන්හි ස්ථාන පනහක් (50) පරීක්‍ෂාවට ලක්කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන එක්දහස් හත්සිය තිහක (1,730) හදුනාගන්නා ලදි. තවද, ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් එකසිය හැටක් (160) මෙම පුළුල් ඩෙංගු මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලදි.

තවද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් තුළින් පරිසරය විධිමත්ව පරීක්‍ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, ඊට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මඟින්ද නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයන් බවට පත්කර ගැනීම සඳහා අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කර ඇත.