ජනතාවගේ පානීය ජල ගැටලුව සඳහා ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය

ජනතාවගේ පානීය ජල ගැටලුව සඳහා ස්ථීර විසඳුම් සෙවීමට  2027 අයවැයෙන් විශේෂ අවධානය
  • SocialShare:

ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීමට 2027 වසරේ අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අයත් සියලු දෙපාර්තමේන්තු සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කෙරිණි.

විවිධ අමාත්‍යාංශ යටතේ එකම විෂයයට අදාළව ආයතන ගණනාවක් පැවතීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අකාර්යක්ෂමතාවක් ඇති වී තිබෙන බවත්, වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන්නේය.

එමෙන්ම මහනුවර - උතුර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, අඹතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය, අනුරාධපුර - උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ජල ව්‍යාපෘතින්හි ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දිවයින පුරා ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන්, ඉතිහාසයේ වෙන් කරන ලද වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදි වෙන් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි වසරට අදාළ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.