ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය විද්‍යාල (Professional Colleges) නියෝජනය කරන විද්වතුන් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ උපදේශන හමුවක් (Advocacy Meeting with Representatives of Professional Colleges on Primary Health Care Reform in Sri Lanka) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ (Waters Edge Hotel) දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය උදෙසා වෘත්තීය මට්ටමින් ජාතික හවුල්කාරිත්වයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙහිදී මෙරට වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය විද්‍යාල සහ ආයතනවල ප්‍රධානීන් අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ප්‍රාථමික සෞඛ්‍යසේවා පද්ධතියේ ඓතිහාසික සහ දැවැන්ත පරිවර්තනයක් සඳහා එක්වන ලෙස විවෘත ආරාධනයක් සිදු කළේය. ශ්‍රී ලංකාව සතු සුවිශේෂී සෞඛ්‍ය උරුමය ඉදිරියට ගෙන යමින්, වර්තමාන සහ අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි සුවිශේෂී "ශ්‍රී ලාංකීය ප්‍රාථමික සෞඛ්‍ය ආකෘතියක්" (Primary Health Care Model) රජය හඳුන්වා දී ඇති බව අවධාරණය කළේය.
1926 වසරේදී සංවිධානාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ බව සිහිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, වසර සියයකට ආසන්න කාලයක් පුරා සීමිත සම්පත් මධ්‍යයේ වුවද රටක් ලෙස අප අත්පත් කරගත් සෞඛ්‍ය ජයග්‍රහණ අගය කළේය. කෙසේ වුවද, වේගයෙන් වයස්ගත වන ජනගහනය, බෝ නොවන රෝග (NCDs) බහුල වීම, මානසික සෞඛ්‍ය, වයස්ගත ජනගහන (Palliative Care) සත්කාර සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන සෞඛ්‍ය තර්ජන හමුවේ වත්මන් සෞඛ්‍ය පද්ධතියේ කඩිනම් සහ පරිවර්තනීය වෙනසක් සිදුවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සකස් කරන ලද "ජාතික ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්තිය" (National Primary Health Care Policy) සඳහා දායක වූ සියලුම විශේෂඥයින්ට සහ නිලධාරීන්ට සිය කෘතඥතාව පිරිනැමූ සෞඛ්‍ය අමාත්‍යවරයා නව ප්‍රාථමික සෞඛ්‍ය ආකෘතියේ ප්‍රධානතම අංග සහ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සිදුවන ආකාරය මෙහිදී පැහැදිලි කළේය.
මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ පරිවර්තනය පහසු එකක් නොවන බවත්, ඒ සඳහා දේශපාලන කැපවීම, වෘත්තීය නායකත්වය සහ ආයෝජන මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසය අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා පැවැසිය. මෙම සෞඛ්‍ය විප්ලවය අමාත්‍යාංශයට හෝ පරිපාලකයින්ට පමණක් තනිව කළ නොහැකි බවත්, ඒ සඳහා රජය, වෘත්තීය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය සේවකයින් අතර සැබෑ ජාතික හවුල්කාරිත්වයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ජනතාවට ඉතා සමීප ස්ථානයක පුරවැසියාගේ සෞඛ්‍ය රැකබලා ගන්නා ප්‍රාථමික සුවතා මධ්‍යස්ථානයක් ලබාදෙන බවට රජය බලයට පැමිණීමට පෙර ජනතාවට වූ පොරොන්දුව අනුව සාකච්ඡා පර්යේෂණ සිදු කරමින්, ජාත්‍යන්තරයේ අත්දැකීම් ද ලබාගනිමින් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 41 ක් දිවයින පුරා ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ වසර අවසන් වනවිට එය 300 දක්වා වර්ධනය කරන බව ද පැවැසීය. අයවැයෙන් රුපියල් මිලියන 1500 ක් නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 25 ක් ඉදිකිරිමට සහ තවත් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් අළුත්වැඩියාවටත් වෙන් කර ඇති බවත් ඊට අවශ්‍ය මානව සම්පත ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති බව ද පැවැසීය. මෙරට සෞඛ්‍ය සේවාවේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ පෙරලියකට බදුන්වන වැඩසටහන මෙය බවද දැනට පවතින ප්‍රාදේශිය රෝහල් සහ ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක ද ඇතුළුව අලුතින් ගොඩනගන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සමග වසර 03 ක් තුළ දි මෙවැනි ජනතාවට සමීප ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 2000 ක් ඉදිකිරිමට කටයුතු කරන බව ද පැවැසිය.
මෙරට අනාගත පරපුර වෙනුවෙන් විද්‍යාත්මකව නිවැරදි, මූල්‍යමය වශයෙන් තිරසාර සහ රෝගියාගේ ගෞරවය සුරකින සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා රජය සමඟ සක්‍රීයව අත්වැල් බැඳගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම වෛද්‍ය සහ සෞඛ්‍ය වෘත්තීය විද්‍යාලවලින් (Professional Colleges) මෙහිදී ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ Primary Healthcare system Enhancing Project (PHSEP) සහ ලෝක බැංකුවේ සංවිධාන ශක්තිය යටතේ මෙම උපදේශන රැස්වීම පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබිලිව්.කේ.ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා මෙරට ප්‍රාථමික සේවාවේ පරිවර්ථනය සහ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ: ප්‍රතිපත්තිමය දිශානතිය සහ ජාතික ප්‍රමුඛතා (Primary Health Care Reform: Policy Direction and National Priorities) පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) II වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මියත් "ජාතික සෞඛ්‍ය උපායමාර්ගික ප්‍රධාන සැලැස්ම 2026-2035: ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ මාර්ග සිතියම" (National Health Strategic Master Plan 2026-2035: Roadmap For Strengthening Primary Health Care) පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මියත් මෙහිදී විශේෂ දේශණ පවත්වන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් පාන්ඩේ, වෘත්තීය විද්‍යාලවල නියෝජිතයින්, සභාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


