කළමනාකරණ සේවා නිලධාරි සේවයට අලුතින් බඳවා ගත් 1,252කට පත්වීම් ලිපි පිරිනැමේ

කළමනාකරණ සේවා නිලධාරි සේවයට අලුතින් බඳවා ගත් 1,252කට පත්වීම් ලිපි පිරිනැමේ
  • SocialShare:

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන් 1,252 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල රාජ්‍ය උත්සවය ඊයේ (ජූලි 07) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ද සහභාගී විය.

මෙම බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම අ.පො.ස. උසස් පෙළ වුව ද, ඒ සඳහා උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ද සුදුසුකම් ලබා සිටිති. සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන්ම වයස අවුරුදු 18-29 ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර, සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් මෙම 1,252 දෙනා සුදුසුකම් ලබා ඇත. මෙම පත්වීම් සියල්ල 2026 ජූලි 15 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙසේ පැවසීය:

"සිස්ටම් චේන්ජ් එක කරන්න වෙන කවුරුත් එන්නේ නෑ; ඒක කරන්න වෙන්නේ ඔබටයි අපටයි පමණමයි"

"ඉතාම තරඟකාරී විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණවලින් තේරී පත් වුණු විශිෂ්ටයන් පිරිසක් වන ඔබට මගේ සුබපැතුම් පිරිනමනවා. පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර වී තිබීමෙන් දැවැන්ත පුරප්පාඩු ප්‍රමාණයක් නිර්මාණය වී තිබුණා. නමුත් අප රජය නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් භාණ්ඩාගාරය ශක්තිමත් කර, අයවැය ප්‍රතිපාදන වෙන් කරමින් රාජ්‍ය සේවය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කිරීමට මෙම බඳවා ගැනීම් සිදු කරනු ලැබුවා.

අපේ රටේ තරුණ ප්‍රජාව ඇතුළු සමස්ත ජනතාවම කාලයක් තිස්සේ 'සිස්ටම් චේන්ජ්' (System Change) එකක් ඉල්ලා හඬ නැඟුවා. ඔබ අද මේ පත්වීම් ලබන්නේ එම ක්‍රම වෙනසේ ප්‍රතිඵලයක් ලෙසයි. කිසිදු දේශපාලන, බාහිර හෝ ආර්ථිකමය බලපෑමකින් තොරව, ඔබේම කුසලතාවයට පමණක් ඉඩකඩ ලබා දෙමින් අද ඔබව රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අප කටයුතු කළා. ඒ 'සිස්ටම් චේන්ජ්' එක කරන්න වෙන කවුරුත් එන්නේ නැහැ, ඔබ අප සියලු දෙනාටම පමණමයි ඒක කරන්න වෙන්නේ. දැන් ඔබට අවස්ථාවක් ලැබෙනවා ඒ ක්‍රම වෙනස සඳහා නිල වශයෙන්ම දායක වෙන්න. මහජනතාව ඔබෙන් අපේක්ෂා කරන්නේ ලිපිගොනු එහා මෙහා කිරීමක් පමණක් නොවෙයි; ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩා යහපත්, කාර්යක්ෂම, නව තාක්ෂණය මුසු වූ කඩිනම් සේවාවක් සැපයීමයි. රාජ්‍ය සේවයේ පැවති අමිහිරි අඩුපාඩු පිළිබඳ අත්දැකීම් ඇති ඔබ, වෙනත් කිසිදු පුරවැසියෙකුට එවැනි දේ අත්විඳීමට නොදීමේ වගකීම භාරගත යුතුයි.

එමෙන්ම රජය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් තොරව, ස්වේච්ඡාවෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මෙන්ම නවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කිරීමටත්, දේපළ ණය සීමාවන් ඉහළ නැංවීමටත් කටයුතු කර තිබෙනවා. ඒ සියල්ලෙන් අප බලාපොරොත්තු වන්නේ තෘප්තිමත් මෙන්ම වඩා යහපත් ජනතා සේවාවක්. බිඳ වැටුණු රටක් නගාසිටුවීමේ දැවැන්ත අභියෝගය මැනවින් තේරුම් ගෙන, ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සේවය සැපයීමට ඔබේ ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා."

"ඔබ කළමනාකරණය කළ යුත්තේ ලිපිගොනු පමණක් නොවෙයි; මහජනතාවගේ විශ්වාසයයි" - නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් උත්සවය අමතමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය:

"අද ඔබ මේ ලබාගන්නේ හුදෙක් පත්වීම් ලිපියක් පමණක් නොවෙයි, රාජ්‍ය සේවය නව යුගයකට ගෙන යාමේ වගකීමයි. රටක් ලෙස විශාල පරිවර්තනයක් සිදුවන, බිඳ වැටුණු රාජ්‍ය යන්ත්‍රණය සහ ආර්ථිකය යළි සක්‍රිය කරමින් ඉදිරියට යන වකවානුවකයි ඔබ රාජ්‍ය සේවයට එක්වන්නේ.

යල් පැන ගිය, ලිපිගොනු ගොඩකට සීමා වූ පැරණි පරිපාලනය වෙනුවට නව තාක්ෂණය, ඩිජිටල්කරණය සහ විනිවිදභාවය මුසු වූ වේගවත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ වගකීම දැන් තරුණ පරම්පරාව වන ඔබ සතුයි. ඔබ රාජකාරි ලිපිගොනු කළමනාකරණය කිරීමට වඩා මහජනතාවගේ විශ්වාසය කළමනාකරණය කරන නිලධාරියෙකු බවට පත්විය යුතුයි. ඈත ගම්මානවල සිට තමන්ගේ ප්‍රශ්න ඔලුවේ තබාගෙන පැමිණෙන සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඇත්ත සහ ඉක්මන් විසඳුම් පමණයි.

දූෂණයෙන් තොරවීම, අවංකභාවය සහ කාර්යක්ෂමතාවය මත පමණක්ම මහජනතාව රාජ්‍ය සේවය කෙරෙහි තබන විශ්වාසය රඳා පවතිනවා. අපට අවශ්‍ය කරන්නේ ප්‍රමාණයෙන් විශාල රාජ්‍ය සේවයකට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ, වගකීමට වගකියන ජනතා කේන්ද්‍රීය සේවාවක්. රටේ අනාගතය වෙනුවෙන් සහ පොදු ජනතාව වෙනුවෙන් නවීන රාජ්‍ය සේවකයෙකු ලෙස පෙරමුණ ගැනීමට සියලු දෙනාම එක්වෙමු කියා ආරාධනා කරනවා."

පසුගිය 2025 ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල 2026 අප්‍රේල් 10 දින නිකුත් කෙරිණි. ඉන් අනතුරුව පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කර ගනිමින්, කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම කුසලතාවය මතම මෙම පිරිස තෝරාගෙන තිබේ.

මෙහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්.යූ. නිෂාන් මෙන්ඩිස් මහත්වරුන් ද අදහස් දැක්වූ අතර අමාත්‍යාංශයේ  උසස් නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිය හ.