ඖෂධ සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව බඳවා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා මෙම නිලධාරී බඳවා ගැනීම් සිදුකිරීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ඖෂධ සම්බන්ධ වැටලීම් සඳහා විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව ෆාමසි පවත්වාගෙන යාම හෝ ඖෂධ අලෙවි කිරීම නීතිවිරෝධී බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම ඖෂධ අලෙවිය හා බෙදාහැරීම සම්බන්ධයෙන් අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත්, ඇතැම් අවස්ථාවල ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ ආරම්භ කරන අතර, තවත් අවස්ථාවලදී හදිසි පරීක්ෂණ සිදුකර අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඖෂධ බැගේජ් ක්‍රමය යටතේ රට තුළට රැගෙන ඒමේ සිදුවීම් ඇතැම් ස්ථානවල සිදුවිය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


