අධිකරණයේ ගොඩගැසුණු නඩු ලක්ෂ 11ට කඩිනම් විසඳුම් සෙවීමට පියවර - අධිකරණ ඇමති

අධිකරණයේ ගොඩගැසුණු  නඩු ලක්ෂ 11ට කඩිනම් විසඳුම් සෙවීමට පියවර - අධිකරණ ඇමති
  • SocialShare:

අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමේ අරමුණින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙය එක් පියවරක් පමණක් බවත් ඊට අමතරව නඩු ප්‍රමාදයට බලපාන අනෙකුත් ගැටලු විසඳීමටද රජය මැදිහත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ , මේ වන විට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි. එම තත්ත්වය හේතුවෙන් ජනතාවට මාස ගණන් සහ වසර ගණන් අධිකරණ ක්‍රියාවලිය සඳහා රැඳී සිටීමට සිදුව ඇති බවද ඔහු පැවසීය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අධිකරණ අමාත්‍යාංශයේ හා අධිකරණවල පවතින කාර්ය මණ්ඩල හිඟය පිරවීම සඳහාද පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් බවත් සංවර්ධිත රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 40ත් 60ත් අතර ප්‍රමාණයක් සිටියද ශ්‍රී ලංකාවේ එම අගය 20කට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.

වසර ගණනාවක් පුරා අවශ්‍ය පුරෝකථනයන්ට අනුව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි නොකිරීම හේතුවෙන් වර්තමානයේ නඩු ගොඩගැසීමේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.