'සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්' ජාතික මෙහෙයුමට සමගාමීව, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිඥා දීමේ වැඩසටහනක් ඊයේ(27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඊට සමගාමීව නාවික හමුදාවේ සියලුම නාවික විධානවලට අයත් නෞකා සහ ආයතනවල ද රාජ්‍ය ප්‍රතිඥා දීමේ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
පුරවැසි ආචාරධර්ම, සදාචාරාත්මක වටිනාකම් සහ යහපත් පාලන සංකල්ප තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සමාජය පුරා සුපිළිපන් සංස්කෘතියක් ස්ථාපිත කර පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම මෙම ජාතික මෙහෙයුමේ මූලික අරමුණ වේ.
ඒ අනුව එකමුතුකම, ආත්ම ශක්තිය, වගවීම, විශ්වාසය, නිවැරදි දැක්ම, අරපිරිමැස්ම, විනිවිදභාවය, සමානාත්මතාව, එකඟතාව සහ නිහතමානීකම යන පරමාදර්ශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජාතික අරමුණු සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාවේ සම්පත්, වෘත්තීය දැනුම සහ ශිල්පීය හැකියාවන් උපරිමයෙන් යොදා ගැනීමට නාවික හමුදා සාමාජිකයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙහිදී ප්‍රතිඥා දුන්හ.
නාවික හමුදා මූලස්ථානයේ පැවති මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.


