ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, 2027 වසර සඳහා මූල්‍ය අවශ්‍යතා සහ ජනතාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති, 'ප්‍රජාශක්ති' වැඩසටහන ඇතුළු ප්‍රධාන සංවර්ධන වැඩසටහන්වල දිස්ත්‍රික් ප්‍රගතිය සහ 2027 වසර සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී විමසා බැලිණි.
ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ අතර, ගාල්ල පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 16ක් මහමෝදර ප්‍රදේශයට ගෙන යාමේ යෝජනාව සහ මහමෝදර බන්ධනාගාරය තාවකාලිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය නැවත සලකා බැලීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුවට විසඳුම් සැපයීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ද සමාලෝචනය කළ අතර, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාල මැඩපැවැත්වීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
ඉදිරි වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව තුන් ගුණයක පමණ ඉහළ අගයක් බව මෙහිදී පෙන්වා දෙන ලදී. රාජ්‍යයේ පුනරාවර්තන වියදම් ක්‍රමයෙන් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීම මඟින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද අවධාරණය කෙරිණි.
එසේම කිසිවෙකුගේ දීමනා කප්පාදු කිරීම හෝ අඩු කිරීම රජයේ අපේක්ෂාව නොවන බවත්, භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ ජනතා සුබසාධනය වෙනුවෙන් කාර්යක්ෂමව යෙදවීම රජයේ අරමුණ බවත් සඳහන් කෙරිණි. අනාගත පරපුරට ණය බරක් ඉතිරි නොවන මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අවධාරණය විය.
මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ආයතනවල නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජ දර්ශක සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් වාර්තා වී ඇති බවයි. දූෂණය අවම කර, නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින්, සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වන සහ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ද එහිදී අවධාරණය කෙරිණි.


