තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ජූලි 10දා ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ජූලි 10දා ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
  • SocialShare:

ග්‍රාම නිලධාරි වසම් 42ක පවුල් 25,000කට සුරක්ෂිත පානීය ජලය සපයන තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය එළඹෙන ජූලි 10 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පානීය ජල ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, ඒ වෙනුවෙන් පානීය ජල සම්පාදන හා කළමනාකරණ ව්‍යාපෘති රැසක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙරට ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජලය ලබාදීම සඳහා මෙම වසර තුළ පමණක් රුපියල් බිලියන 175ක මුදලක් රජය වෙන් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කිවුල් ජලය භාවිත කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීම මඟින් හඳුනා නොගත් වකුගඩු රෝගය වැළැක්වීමට මෙන්ම එම ගැටලුව අවම කිරීමටද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දෙණිය සහ පදවිය ප්‍රදේශවල ජනතාව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රුපියල් බිලියන 32ක වියදමින් ක්‍රියාත්මක කළ තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය මඟින් එම ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.

එමෙන්ම, ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කැබිතිගොල්ලෑව ජල සම්පාදන ව්‍යාපෘතියද ජූලි 10 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.