කළමනාකරණ සේවා නිලධාරි සේවයට අලුතින් බඳවා ගත් 1,252කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

කළමනාකරණ සේවා නිලධාරි සේවයට අලුතින් බඳවා ගත් 1,252කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
  • SocialShare:

රාජ්‍ය සේවයේ අපේක්ෂිත "සිස්ටම් චේන්ජ්" ක්‍රියාවලිය සඳහා තරුණ නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට පත්වීම් ලැබූ නිලධාරීන් 1,252 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට අද (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) වුවද, සුදුසුකම් ලැබූවන් අතර උපාධිධාරීන් විශාල පිරිසක් ද සිටිති. පත්වීම්ලාභීන් සියලුදෙනාම වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන් වන අතර, සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු පත්වීම් සඳහා තේරී පත්ව තිබේ. මෙම පත්වීම් 2026 ජූලි 15 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. උත්සවය අමතමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, තරඟකාරී විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ මගින් කුසලතා මත තේරී පත්වූ පිරිසක් රාජ්‍ය සේවයට එක්වන බවයි. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතරවීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම මෙන්ම රාජ්‍ය සේවය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම බඳවා ගැනීම් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ය කිසිදු දේශපාලන, බාහිර හෝ ආර්ථික බලපෑමකින් තොරව කුසලතා මත පමණක් පත්වීම් ලබාදීම රජය අපේක්ෂා කරන "ක්‍රම වෙනස" ක්‍රියාවට නැංවීමේ වැදගත් පියවරක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මහජනතාව අපේක්ෂා කරන්නේ ලිපිගොනු කළමනාකරණය පමණක් නොව, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ නව තාක්ෂණය මුසු වූ රාජ්‍ය සේවාවක් බවද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, නවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කිරීම සහ දේපළ ණය සීමාවන් ඉහළ නැංවීම ඇතුළු පියවර රජය ගෙන ඇති බවත්, එමඟින් තෘප්තිමත් හා ගුණාත්මක ජනතා සේවාවක් ගොඩනැගීම අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, නව නිලධාරීන් ලිපිගොනු කළමනාකරණය කරන නිලධාරීන්ට වඩා මහජනතාවගේ විශ්වාසය දිනාගන්නා රාජ්‍ය සේවකයන් බවට පත්විය යුතු බවයි. නව තාක්ෂණය, ඩිජිටල්කරණය සහ විනිවිදභාවය මත පදනම් වූ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ වගකීම තරුණ පරම්පරාව සතු බව ද ඔහු අවධාරණය කළේය. 2025 ඔක්තෝබර් 05 දින පැවැති විවෘත තරග විභාගයට අයදුම්කරුවන් 85,000කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, 2026 අප්‍රේල් 10 දින නිකුත් කළ ප්‍රතිඵල සහ අනතුරුව පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල මත, කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම කුසලතා පදනම් කරගෙන මෙම පිරිස තෝරාගෙන තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්. යූ. නිෂාන් මෙන්ඩිස් මහතා, අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් ද එක්ව සිටියහ.