මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලට

මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලට
  • SocialShare:

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත පැමිණියේය.

අමාත්‍යවරයා ජාතික රෝහලේ 72 සහ 79 වාට්ටුවල මෙන්ම දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ අතර, ප්‍රතිකාර කටයුතු තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව ද සොයා බැලීය.

එහිදී වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රෝහල් පරිපාලනය සහ බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා, ප්‍රතිකාර සේවාවන්, හදිසි අවශ්‍යතා සහ අනෙකුත් සහන සේවා සැපයීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළේය.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 29කි. එම පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකු සහ රැඳවියන් 14 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 12 දෙනෙකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටිති.