පුරවැසියා සහනාධාර මානසිකත්වයෙන් ගොඩගෙන ඵලදායී ආර්ථිකයට දායක කරගත යුතුයි - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

පුරවැසියා සහනාධාර මානසිකත්වයෙන් ගොඩගෙන ඵලදායී ආර්ථිකයට දායක කරගත යුතුයි - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
  • SocialShare:

වර්තමාන රජයේ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උත්සාහය වනුයේ පුරවැසියා දිගින් දිගටම සහනාධාර ලාභියෙකු බවට පත්කිරීම නොව, සත්‍ය වශයෙන්ම පුරවැසියා සහනාධාර මානසිකත්වයෙන් ගොඩගෙන ඔහුව කිසියම් ඵලදායී ආර්ථික ක්‍රියාවලියක නිරත කරගැනීම බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා සඳහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රජා සවියට නව බලයක් තේමාව යටතේ සවිබලගැන්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම වසරේ පවුල් ලක්ෂ 02ක් තෝරා ගනිමින් ඔවුන් දුප්පත්කමින් මුදවාගෙන ඔවුන් අස්වැසුම සහනාධාරය ලබාගැනීම නවත්වා ඔවුන් ඵලදායී ආර්ථික ක්‍රියාවලියක නිරත කරවීමට අපේක්ෂිත බවද පැවසුවේය. මෙලෙස සෑම වසරකම පවුල් ලක්ෂ 02ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සවිබල ගැන්වීමේ කාර්යය කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සදහන් කළේය.

මෙහිදී තෝරා ගන්නේ වයස අවුරුදු 60ට වඩා අඩු ගෘහමූලිකයින් සිටින පවුල් , ආබාධිත ගීහමූලිකයින් නොවන පවුල් කිසියම් නිධන්ගත රෝගාබාධයකින් පෙළෙන අය නොමැති පවුල් ආදී ලෙස තෝරා ගනිමින් පවුල් සංවර්ධන වාර්තාවක් සකස් කරන බවද සදහන් කළේය.

මෙරට අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ 16ක් ඇතැයිද ඉන් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීම සදහා සුදුසු බවට හඳුනාගෙන ඇතැයිද ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂ ලාල් කරුණාතිලක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේය. මෙම පවුල් ලක්ෂ 12 වසර 05ක් තුළ සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බවද 2026 වසරේදී අස්වැසුම ප්‍රතිලාභ ලබන දුප්පත්, අන්ත දුප්පත් සහ අවධානමට ලක්වූ යන කාණ්ඩ 03ට අයත් පවුල් ලක්ෂ 02ක් ආර්ථික, සමාජ සහ මානසික යන ක්ෂේත්‍ර ඔස්සේ ස්වයංව නැගී සිටින තත්ත්වයක් ඇති කරමින් සවිබල ගන්වන බවද සදහන් කළේය.

සවිබල මාසය ලෙස මාසයක් නම් කරමින් ප්‍රජා සවියට නව බලයක් යන තේමාව යටතේ සමාරම්භක උත්සවයක් ජූලි 10 වනදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වන බවද ඒ සඳහා ජනාධිපතිතුමන්ද සහභාගී වීමට අපේක්ෂිත බවද වැඩිදුරටත් පැවසුවේය.