"සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව සියලුම දරුවන්ට ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීමයි - අග්‍රාමාත්‍ය

"සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව සියලුම දරුවන්ට ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීමයි - අග්‍රාමාත්‍ය
  • SocialShare:

සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව සියලු දරුවන්ට ඉදිරියට යාම හැකි අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ලංකාවේ අන්තර්කරණ අධ්‍යාපනය (Inclusive Education) පිළිබඳ පර්යේෂණ සොයාගැනීම් ප්‍රචලිත කිරීම සඳහා 2026.07.08 දින කොළඹදී පැවති වැඩමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

අන්තර්කරණ අධ්‍යාපනය ලෙස බොහෝදෙනා අදහස් කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සාමාන්‍ය පන්තිකාමරයේ ඉගෙනුම් අවස්ථා ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් ලෙස වුවත්, එහි ප්‍රමුඛ කාර්යභාරය වන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට මෙන්ම නොයෙකුත් අවාසිසහගත පරිසරවල සහ අවදානම් සහගත තත්ත්වයන් තුළ ජීවත්වන ළමුන්ටද බාධාවන්ගෙන් සහ ප්‍රතික්ෂේප කිරීම්වලින් තොරව අධ්‍යාපන ක්‍රියාවලියට සක්‍රීයව සහභාගිවීමට අවස්ථාව ලබාදීම බව මෙහිදී අවධාරණය කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF සංවිධානය ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩමුළුව ඔස්සේ කිසිදු දරුවෙකුට අධ්‍යාපනය ගිලිහී නොයන ඵලදායී අන්තර්කරණ අධ්‍යාපන පරිසරයක් ගොඩනැගීම උදෙසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හට අවශ්‍ය පර්යේෂණාත්මක දැනුම සහ අත්දැකීම් ලබාදීම සිදුවිය.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය, ප්‍රවාහන, සමාජ සුබසාධන සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය ඇතුළත් කරමින්, ආයතනික ඒකාබද්ධ ක්‍රියාවලියකට යොමුකිරීම මෙම වැඩමුළුව හරහා සිදුකෙරිණි.

මෙහිදී අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමයේ පර්යේෂණ වාර්තා එළිදැක්වීම සහ ජීවිත අත්දැකීම් බෙදාගැනීම සඳහා වූ දේශනද පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය.

නිදහස් අධ්‍යාපනය කියන්නෙ සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය තහවුරු කිරීම වෙනුවෙන් හදපු අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා අන්තර්කරණ අධ්‍යාපනය (Inclusive Education) අපට කිසිසේත් බැහැර කර නොහැකියි.

ඒ වගේම රටක් ලෙස අපේ රටේ අධ්‍යාපනය සඳහා ඇති වටිනාකම් ගැන අප ආඩම්බර විය යුතුයි. අධ්‍යාපනය හරහා සමාජයේ ඉදිරියට යා හැකියි කියන ඒ විශ්වාසය අපේ දෙමාපියන් තුළ සහ අපේ ප්‍රජාව තුළ තහවුරු වෙලා ඉවරයි.

එසේම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය තහවුරු කිරීම වෙනුවෙන් ඇතිවෙච්ච අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළ පුද්ගලවාදී, තරගකාරීත්වයෙන් තීරණය වන, ඒ තරගකාරීත්වය නිසා විශාල දරුවන් කණ්ඩායමක් බැහැර කරන අධ්‍යාපන පද්ධතියක් අප රට තුළ ඇතිවුණු ආකාරය සම්බන්ධව අපි නැවත සිතන්න ඕන.

අන්තර්කරණ අධ්‍යාපනය ආබාධ සහිත දරුවන්ට පමණක් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඉගැන්වීම් ක්‍රියාවලියක් නොව ආර්ථිකමය, සමාජීය, ගෝලීය සහ මානසික සෞඛ්‍ය වැනි හේතුන් නිසා අධ්‍යාපනයෙන් බැහැර වීමට ඉඩකඩක් ඇති සිසුන් තවදුරටත් රැකගෙන ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථා උදාකර දෙන අධ්‍යාපන ක්‍රමයක්.

සියලුම දරුවන්ට සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් ලබාදීම අපේ අධ්‍යාපනයේ මූලික වගකීමක් ලෙස අප සිතට ගත යුතු දෙයක්. එය සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික සාධක සපුරාගැනීම සම්බන්ධව අප ඉතා සුක්ෂමව සිතිය යුතුයි. එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා UNICEF ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතනවල නිලධාරීන් දක්වන සහයෝගයට මා ස්තූතිවන්ත වෙනවා.

මේ අවස්ථාවට සහභාගි වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවන් ලබාදීමට යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය මෙන්ම ආබාධ සහිත සිසුන්ට පාසලට ඇතුළුවීමේ හැකියාවක් පවතින, සියලු ජනවර්ගයන්ට ඔවුන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් පාසල් තුළ ස්ථාපිත කිරීම අතිශය වැදගත් වන බවයි.

තවද, දරුවන්ගේ වෙනස්කම් අවබෝධ කරගෙන, එම වෙනස්කම් පිළිගනිමින් දරුවන්ට අධ්‍යාපන අවස්ථාවන් ලබාදීම සඳහා මුළු ලෝකයම අන්තර්කරණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ නව ප්‍රවේශයකට හුරුවෙමින් පවතින බවත්, එහිදී ශ්‍රී ලංකාව තුළ අන්තර්කරණ අධ්‍යාපනය වර්ධනය කිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට වක්‍ර දායකත්වයක් දක්වන ආයතනයන්ද සම්බන්ධකර ගැනීම අතිශය ඵලදායී වන බවත් අවධාරණය කර සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා දත්ත, පර්යේෂණ සාධක සහ විද්‍යාත්මක පදනම් මත අන්තර්කරණ අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කිරීම සිදු කළ යුතු බවද පවසා සිටියේය.

මෙම අවස්ථාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා, යුනිසෙෆ් (UNICEF) ආයතනයේ වැඩබලන නියෝජිත බෙගෝනා ඇරෙලානෝ මහත්මිය, (UNICEF) ආයතනයේ අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ උපදේශක නටාෂා ග්‍රහැම් මහත්මිය ඇතුළු අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය, ප්‍රවාහන, සමාජ සුභසාදන සහ අධ්‍යාපන යන අමාත්‍යාංශයන්හි උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.